සෝමවංශ අමරසිංහ දිවියෙන් සමු ගනී

Image caption ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරවංශ

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන සෝමවංශ අමරසිංහ දිවියෙන් සමු ගත්තේය.

1969 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණට එක් වූ සෝමවංශ අමරසිංහ 1971 කැරැල්ලෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබ 1977 වසරේ දී ජේ.ආර්.ජයවර්ධන රජය විසින් එවකට පැවති අපරාධ යුක්ති කොමිසම අහෝසි කිරීමත් සමඟ බන්ධනාගාරයෙන් නිදහස් විය.

1971 අප්‍රියෙල් මස පස් වෙනිදා කැරැල්ල ආරම්භ කිරීමත් සමඟ එවකට අගමැතිවරිය වාසය කළ ඇයගේ පෞද්ගලික වාසස්ථානය වූ රොස්මිඩ් නිවසට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙනුයි සෝමවංශ අමරසිංහ එරෙහිව අපරාධ යුක්ති කොමිසම ඉදිරියේ චෝදනා ඉදිරිපත් කරනු ලැබුණේ.

1977 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩ නැගීමේ කාර්යයට රෝහණ විජේවීර සමඟ පෙරමුණ ගත් සෝමවංශ අමරසිංහ 1988-89 වකවානුවේ කැරැල්ල පරාජයට පත් වීමත් සමඟ රටින් පළා ගිය අතර පසුව එම පක්ෂයේ නායකත්වයට පත් විය.

Image caption සෝමවංශ අමරසිංහ සහභාගී වූ ජවිපෙ රැළියක්

1990 පටන් 2014 තෙක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ ඔහු 2014 එම පක්ෂයෙන් ඉවත් වී ජනතා සේවක පක්ෂය නමින් නව සංවිධානයක් ගොඩ නඟා ගනිමින් සිය පැරණි පක්ෂයේ නව ප්‍රවේශය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරන්නට විය.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි වූ සෝමවංශ අමරසිංහ ජනාධිපතිවරණ දින සිදු වූ කුමන්ත්‍රණයක් හෙළිදරව් කරන මෙන් ඉල්ලමින් නිදහස් චතුරශ්‍රයේ දී පැය කීපයක උපවාසයක් ද ආරම්භ කළේය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ විරසක වූ සෝමවංශ අමරසිංහ එම පක්ෂයෙන් ඉවත් කරනු ලැබ සිටි විමල් වීරවංශ සමඟ එක් වෙමින් පසුව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වේදිකාවන්හි ද දක්නට ලැබුණි.