'තිලින ගමගේ උසාවියට ගේන්න නීතිපතිට බලයක් නැහැ'

Image copyright Getty Images
Image caption තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ අලි පැටවා ඇතුළු අලි ඇතුන් විසිපස් දෙනෙකු දැන් සිටින්නේ වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ (සංරක්‍ෂිත ඡායාරූපයකි)

හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ නැවත අධිකරණයට ගෙන එන ලෙස නීතිපති උපදෙස් දී ඇතත් විත්තියේ නීතීඥයා පවසන්නේ ඒ සඳහා නීතිපතිට බලයක් නොමැති බවයි.

නීතිපතිවරයා රහස් පොලිසියට ලිඛිත ව දන්වා අත්තේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා දුන් ඇපය මහාධිකරණය මගින් මේ වන විට අත්හිටුවා ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාර, හිටපු මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි නීතිපතිවරයා රහස් පොලිසියට දී ඇති උපදෙස්වල සඳහන් කර ඇත්තේ.

'නීතිපතිට හැකියාවක් නැහැ'

මේ පිළිබඳව සංදේශය කළ විමසීමක දී තිලින ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අජිත් පතිරණ කියා සිටියේ මෙවැනි තීරණයක් ගැනීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර ගැන අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

නිසි ලියාපදිංචියක් නොමැතිව අලි ඇතුන් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් දා රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේය.

එම පරීක්ෂණය යටතේ නිසි ලියාපදිංචි ලේඛන ඉදිරිපත් නොකිරීමේ හේතුව මත තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ අලි පැටවා ඇතුළු අලි ඇතුන් විසිපස් දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්