පළාත් සභා තීන්දු වෙනස් කරන බවට විග්නේශ්වරන්ට චෝදනා

Image caption සභාව උණුසුම් වීම නිසා කිසිවක් කථා කර ගැනීමට නොහැකි තත්ත්වයක්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නෙස්වරන්ට දේශපාලනඥයින් රැසකගෙන් විරෝධය එල්ල වීම නිසා වවුනියා දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමේ කටයුතු අසාර්ථක විය.

මෙම රැස්වීම පැවැත්වුණේ වවුනියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදීයි.

වවුනියාව දිස්ත්රික්කය සදහා ලැබුණු ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය වවුනියාව නගර ආසන්නයේ පිහිටි තාණ්ඩික්කුලම පළාතේ ඉදි කළ යුතු බවට උතුරු පළාත් සභාව තීරණය කොට තිබියදී ප්‍රධාන අමාත්‍යවරයා එම මධ්‍යස්ථානය නගරයේ සිට කිලෝමීටර් 14 ක් ඈත පිහිටි ඕමන්ත පළාත වෙත රැගෙන යාමට අවසර ඉල්ලමින් අගමැතිවරයාට ලිපියක් යැවීම එම විරෝධයට හේතුව වී තිබුණි.

'අත්තනෝමතිකව'

උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වන්නිහාමිගේ ජයතිලක මන්ත්‍රීවරයා ඇතුලුව දෙමළ මන්ත්‍රීවරු හා අමාත්යවරු ප්‍රධාන අමාත්යවරයාට විරෝධය පල කරමින් කෑකෝ ගසන ලද්දේ පළාත් සභාව විසින් යෝජනා සම්මත කොට ගන්නා ලද තීරණයක් අත්තනෝමතිකව වෙනස් කිරීමට සදාචාර අයිතියක් නැතැයි යන්න පෙන්වා දෙමිනුයි.

ප්‍රධාන අමාත්යවරයා මෙහිදී කියා සිටියේ රජයට මේ බව දන්වා ඇති නිසා ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලැබෙන තුරු ඉවසා සිටිමු යනුවෙනුයි.

එහිදී යළිත් වරක් සභාව උණුසුම් වීම නිසා කිසිවක් කථා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිණි.

සතියක් ඇතුළත දී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් පොරොන්දු වීමෙන් පසුව සභාව නිශ්ශබ්ද වුවත් සංවර්ධන සභාවේ කටයුතු බොහොමයක් නිසි පරිදි සාකච්ඡා කර ගැනීමට නොහැකි විණි.