බ්‍රිතාන්‍ය ජනමත විමසුම;ශ්‍රී ලාංකික ප්‍රතිචාරය

Image caption ජනමත විමසුම පැවැත්වෙන්නේ ජුනි 23 දිනයි.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීම රටට මෙන්ම එහි වැසියන්ට වඩාත් ප්‍රතිලාභ අත් කරන බව බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා සංසදය පවසයි.

එම සංවිධානයේ සභාපති ජනක අලහප්පෙරුම බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතුද නැද්ද යන්න තීන්දු කෙරෙන ජනමත විචාරණයේ දී වෙන් වීමේ මතය ජයග්‍රහණය කරවීම සඳහා සිය සංවිධානය ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව දැනුවත් කරන බවයි.

එම ජනමත විචාරණය සඳහා තවත් ඇත්තේ සතියක් පමණි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සහ ආණ්ඩුවේ ඉහළ මට්ටමේ නියෝජිතයන් පිරිසක් පසුගියදා බ්‍රිතාන්‍යයට පැමිණ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව යුරෝපා හවුල තුල රැඳී සිටිය යුතුය යන අදහසට සහයෝගය දීම සඳහා යොමු කිරීමේ ප්‍රයත්නයක නිරත වූ අතර බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම එම පියවර විග්‍රහ කළේ ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනයාගේ මුදල් විනාශ කිරීමක් හැටියටයි.

Image copyright AFP
Image caption 'අපි රැඳී සිටිමු'

යුරෝපා හවුල තුල රැඳී සිටීම මගින් අසීමිත සංක්‍රමණ හමුවේ මෙතෙක් බ්‍රිතාන්‍ය සමාජයේ ජීවත් වූ ජනතාව ආර්ථික අධ්‍යාපන සහ සෞඛ්‍යය වැනි අංශ වල දුෂ්කර තත්වයකට පත් වෙන බව බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුමගේ අදහසයි.

එම තත්වය හමුවේ යුරෝපා හවුලෙන් ඉවත් වීම වඩාත් යහපත් බව ශ්‍රී ලාංකික සහ ඉන්දීය වැනි ආසියානු සම්භවයක් සහිත බහුතර බ්‍රිතාන්‍ය ප්‍රජාවගේ අභිලාශය වන බවත් ඔහු කියා සිටියි.

දමිළ සංවිධාන

බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වෙන දමිළ සංවිධාන යුරෝපා ජනමත විචාරණයේ දී ගනු ලබන ස්ථාවරය පිළිබඳව බ්‍රිතාන්‍ය දමිළ සංසදයේ(BTF) විජිතන් කන්දය්යා ප්‍රකාශ කළේ යුරෝපා හවුලෙන් ඉවත් වීම වඩාත් යහපත් බවයි.

Image caption 'අපි වෙන් වෙමු'

යුරෝපා හවුල මගින් සම්මත කරනු ලැබ ඇති විවධ ගිවිසුම් සුළු ජාතීන්ට වඩාත් යහපත් වෙනවා නොවේදැයි විමසූ විට ඔහු කියා සිටියේ 'බ්‍රිතාන්‍ය සමාජය තුළ සුළු ජාතිකයන්ට රැකවරණයක් පවතින' බවයි.

බ්‍රිතාන්‍ය ජනමත විමසුමේ දී ගෝලීය දමිළ සංසදය(GTF) දරන ස්ථාවරය පිළිබඳව එහි ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තම සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් පොදු තීන්දු ගන්නා අතර මෙම ජනමත විචාරණයේ දී සාමාජිකත්වයට ඔවුන්ගේ සිතැඟි පරිදි ඡන්දය පාවිච්චි කළ හැකි' බවයි.