‘යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමේ වාසිය ධීවරයන්ට’

අගමැති රනිල් වික්‍රමසිංහ
ඡායාරූප ශීර්ෂ වැකිය,

අගමැති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව නීති විරෝධී සහ පාලනයක් නොමැති ධීවර ව්‍යාපාර වලට විරුද්ධව ගෙන යන සටනට සහයෝගය නොදුන් රටක් හැටියට යුරෝපා හවුල් විසින් ලැයිස්තු ගත කර තිබුණ අතර දැන් එය එම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබ ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබුණ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහංචිය ඉවත් කරනු ලැබීම පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිලි කරමිනි.

යුරෝපා හවුල විසින් පනවන ලද තහනම නිසා යුරෝපයට සිදු කෙරෙන මත්ස්‍ය අපනයනය සහමුළින්ම ඇනහිට තිබුණ බවයි අගමැතිවරයා පවසන්නේ.

එම තහනම ඉවත් කර ගැනීම සඳහා පියවර ගන්නා බව පසුගිය ජනාධිපතිවරණ සමයේ 2014 වසරේදීම තමන් කියා සිටි බව සිහිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ බලයට පත් වූදා පටන්ම එම තහනම ඉවත් කර ගැනීමට ක්‍රියාත්මක වූ බවත් සඳහන් කළේය.

පනවා තිබුණ තහනම නිල මට්ටමින් ඉවත් කරනු ලැබීම ඊයේ (16) යුරෝපා කොමිසම විසින් නිවේදනය කරන ලද බවත් අගමැතිවරයා ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකාව ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර බැඳීම අනුව තහනම් ධීවර කර්මාන්තවලට එරෙහිව ගෙන යන සටනට සහයෝගය දෙන බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මෙම ක්‍රියාදාමය යටතේ මත්ස්‍ය අපනයනයට දොරටු විවුරුත වීම නිසා ධීවර ප්‍රජාව අතට මුදල් ලැබෙන බවයි පෙන්වා දුන්නේ.