කුඩා බිම්සරගේ පොසොන් පින්කමක්

Image caption ඔහු සිය නිවස අසල කුඩා මඩුවක් ද සාදා දන්සල දීම ආරම්භ කර ඇත

කන්තලේ යුනිට් 14 ගමේ පදිංචි සෙනුක බිම්සර‍ගේ වයස අවුරුදු දොළහකි. ඹහු ගමේ පාසැලේ සය වැනි වසරේ ඉගනුම ලබයි.

පුරා මාසයක් ඹහු තම කුඩා නැගනියද සමග ගම පුරා ඇවිද ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කළේ පොසොන් පෝයට කඩල දන්සලනක් දීමටය.

පුංචි බිම්සරගේ වෑයම පොසොන් පෝය යෙදී ඇති අද (19) දින මල් ඵල ගැන් වී තිබේ.

මේ වන විට ඔහු සිය නිවස අසල කුඩා මඩුවක් ද සාදා දන්සල දීම ආරම්භ කර ඇත. ගමෙ වැඩිහිටියන් පවුල් පිටින් පැමිණ බිම්සරගේ දන්සලෙන් කඩල අනුභව කරති.

Image caption පුංචි බිම්සරගේ වෑයම පොසොන් පෝය යෙදී ඇති අද (19) දින මල් ඵල ගැන් වී තිබේ.

"මට මගේ යලුවෝ ගොඩක් උදව් කළා අම්මයි ගමේ නැන්දලයි කඩල තම්බලා දුන්නා. මේක කඩල කිලෝ පහලොවක දන්සලක්. නංගිත් සල්ලි එකතු කරන්න ගොඩක් මහන්සි වුනා අපි හැමොටම හරිම සතුටුයි. ලබන අවුරුද්දේ බත් දන්සලක් දෙන්න තමයි හිතා ගෙන ඉන්නේ. තාත්ත ත් උදව් කරනවා කිව්වා" පුංචි බිම්සර එසේ පැවසුවේ මහා ලොකු බරක් හිසට ගත් වැඩිහිටියෙකු පරිද්දෙනි.

සවස හතරට දන්සල ආරම්භ කළේ රතින්ඥා පත්තු කරමිනි.

කඩල බෙදා දෙන්නේ කැන්ද කොළ වලටය. ඉවත ලන කොළ දැමීමට කසළ බදුනක් ද තබා ඇත. අත සේදීමට ජල පහසු කමි ද සපයා තිබේ.

මේසයක් මත තබා ඇති කුඩා කැසට් යන්ත්‍රයකින් ගැයෙන පොසොන් ගී හඬ ඈතට ඇසෙයි.

ප්‍රදේශවාසී සියල්ලෝම කුඩා බිමිසරගේ මේ පිංකම අගය කරන බවයි කන්තලේ සිට ආර් ජී ධර්මදාස වාර්තා කළේ.