බත්තලංගුණ්ඩුව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අධ්‍යාපන අයිතිය අහිමි බත්තලන්ගුන්ඩුව දරුවෝ

"මගේ වයස දහතුනයි. මම ඉන්න ඕන අට වසරේ නමුත් මම ඉන්නේ හතර වසරේ." බත්තලන්ගුන්ඩුව දූපතේ වෙසෙන සාගර සුමනසිරි දරුවාගේ කතාවයි, ඒ.

සාගර සුමනසිරි මෙන්ම එම දූපතේ ජීවත්වන ළමුන්ට නිසි වයසට හිමි අධ්‍යාපනය නොලැබෙන බව දූපත්වාසීහු පවසති.

බත්තලංගුණ්ඩුව දූපතට පාසල් ගොඩනැගිල්ලක් තිබුනත් රජයෙන් ගුරුවරයෙකු ලබා දී නොමැති අතර ගුරුවරයෙකු නොමැති වීම නිසා වසරකට වැඩි කාලයක් පාසල වසා දමා තිබූ බවයි දූපත් වාසීන් පවසන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකුගේ ඉදිරිපත් වී පාසල යළි විවෘත කොට ඇති බව එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට දැකගන්නට ලැබිණ.

එහෙත් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සෙසු පහසුකම් දරුවන් වෙත ලැබී නොමැති බව දරුවන් සහ දෙමව්පියෝ පවසති.

කල්පිටියේ සිට මුහුදු සැතපුම් 18 ක් ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත තුළ පවුල් අටසීයකට පමණ අයත් පන්දහසකට ආසන්න පිරිසක් දිවි ගෙවති.

නීති විරෝධී පන්න ක්‍රම යොදා ගනිමින් ඉන්දීය ධීවරයන් විසින් සිදු කරන මසුන් මැරීම හේතුවෙන් තම රැකියාවට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් දූපත්වාසීහු පවසති.

පන්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන සිය දූපත රැකගැනීම සඳහා පලුගහතුරේ සිට ඇති කෙටි මාර්ගය විවෘත කර දෙන ලෙසද ඔවුහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.