ද්වී පක්ෂ ක්‍රමයක් යළිත්?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ද්වී පක්ෂ ක්‍රමයක් යළිත්?

නව පළාත් පාලන ජන්ද ක්‍රමය ද්වි පක්ෂ ක්‍රමයකට රට තල්ලු කරන එකක් බවට ඇතැම් පක්ෂ නගන චෝදනාව බැහැර කල නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ මැතිවරණ කොමිසමේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පැරණි කොට්ටාශ ක්‍රමය හා දැන් පවතින සමානුපාතික ක්‍රමය මිශ්‍රව සකසා ඇති නව පළාත් පාලන ඡන්ද ක්‍රමය ද්වි පක්ෂ ක්‍රමයකට රට තල්ලු කිරීමක් බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් දිගින් දිගටම චෝදනා කරයි.

අද පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද සිය මතය පිළිගත් බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේය.

බීබීසිය මේ පිළිබඳ අද පැවති මාධ්‍යහමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ 'මම එහෙම සෘජුව කිව්වේ නැහැ, මම කිව්වේ බැලු බැල්මට මේ ක්‍රමය යටතේ අනුපාතය අඩු නිසා වැඩිපුර ඡන්ද ගන්න බැරි පක්ෂ වලට තේරී පත් වෙන්න අවාසි සහගත තත්වයක් ඇතිවෙනවා කියලා, මට සමහර දේවල් සෘජුවම කියන්න බැහැනේ' යනුවෙනි.

මෙම ක්‍රමයට මැතිවරණය පැවැත්වීමෙන් තරුණ අසහනයක් මතු වීම නොවැළක්විය හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා සිය පක්ෂය සමග පැවති සාකච්චාවේදී පැවසූ බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසීමේදී මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ අතීතයේ තරුණ අසහන කමිටුවේ නිර්දේශය මත මින් පෙර පැවති නිර්දේශයක් ඉවත්කිරීම මේ තත්වයට හේතුව බව තමන් ප්‍රකාශ කලළ බවයි.

පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතුවී ඇති කරුණු පැහැදිලි කළ කොමසාරිස්වරයා කියා සිටියේ සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව සහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය නිසි ලෙස ගැසට් කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමට හැකි බවයි.