සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ජනවාරි 08 පැතූ යහපාලනය මේකද?'

රටේ බහුතරයක් ජනතාව 2015 ජනවාරි අට වැනි දින බලාපොරොත්තු වූ යහපාලනය ඇති කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අපොහොසත් වී ඇති බව පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණවලට දායක වූ එම සංවිධාන ඒ බව පැවසුවේ, 'ජනවාරි 8 පැතූ යහපාලනය මේකද' මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති මහජන සභාවකදී අදහස් පළකරමින්.

තමන් පත්කිරීමට දායකවූ රජය පිළිබඳව සිවිල් සමාජ කණ්ඩායම් දක්වන අදහස් දැන ගැනීම පිණිස විශාල පිරිසක් සභාවට රැස්ව සිටියහ.

සෝභිත හිමියන්ගේ පැතුම

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිකිරීම සඳහා නිශ්ශබ්දතාවයක් නොතිබුණ බවට සභාවේ කිහිප දෙනකු විරෝධය දැක්වීමත් සමග සභාව ආරම්භයේදී උණුසුම් තත්වයක් හටගත්තේය.

උත්සවය අතරතුර සෝභිත හිමියන් සිහි කිරීමට නියමිත බව එහිදී සංවිධායකයෝ සභාවට දැනුම් දුන්හ.

ඉන් පසු සභාව ඇමතූ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පැවසුවේ සෝභිත හිමියන් ආණ්ඩුවට ලබා දුන් දස වැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිණිස කිසිදු උත්සාහයක් ගන්නා හැඩක් නොපෙනන බවයි.

නායකයන් දෙපළම පක්ෂ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම මෙම තත්වය ඇතිවීමට හේතුවී තිබෙන බව පැවසූ මහාචාර්ය සරත් විජේසුරිය, අද වන විට ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන තත්වයකට පත්කිරීමට ඔහු වටා ඇති පරාජිත බලවේග ක්‍රියා කරමින් සිටින බවටද චෝදනා කළේය.

මහ බැංකු අධිපති

මෙහිදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ සිය කතාව අරම්භ කළේ, නැවතත් කිසි දිනක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ දේශපලන සංස්කෘතියට රටේ බලයට පත්වීමට ඉඩ ලබා නොදෙන බව පවසමින්.

පක්ෂ න්‍යාය පත්‍රය අත්හැර රටේ න්‍යාය පත්‍රය අතට ගන්නා ලෙස ඔහුද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.

මහ බැංකු අධිපතිවරයා නැවත පත් නොකරන ලෙසද සභාව ඇමතු කථිකයන් කිහිප දෙනෙක්ම රජයෙන් ඉල්ලා සිටියහ.