තිලිණ ගමගේට නව ඇප කොන්දේසි

Image caption හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ලබා දුන් ඇපය අවලංගු කළ කොළඹ මහාධිකරණය සැකකාර හිටපු මහේස්ත්‍රාත්වරයාට දැඩි කොන්දේසි සහිත නව ඇප නියෝගයක් ප්‍රකාශයට පත් කළේය.

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනාව සබන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ ඇප නියෝගය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ.

ඒ අනුව සැකකාර තිලිණ ගමගේ රුපියල් ලක්ෂ දහයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබීය.

ඊට අමතරව සතියකට වරක් රහස් පොලිසියේ පෙනී සිට වාර්තා කළ යුතු බවට තවත් කොන්දේසියක් නිකුත් කෙරිණි.

තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ ඇප නියෝගය නීතිමය වශයෙන් දෝෂසහගත බැවින් එය අවලංගු කරන බවයි.

සැකකාර තිලිණ ගමගේ ස්වේඡ්චාවෙන්ම අධිකරණයට භාර වීම නිසාත් මෑතක් වනතුරුම අධිකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබීම නිසා එය සුවිශේෂ කරුණක් සේ සලකා ඇප නියම කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

පරීක්ෂණ වලට බාධා සිදු කළහොත් මෙම ඇපය අවලංගු කර නඩුව අවසන් වනතුරු සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ දී සදහන් කළේය.