නවක වදය පැමිණිලි කිරීමේ වෙබ් අඩවිය මර්දනයේ තවත් පියවරක්ද?

Image copyright LankaNewsWeb
Image caption නවක වදය පිළිබඳව පැමිණිලි කිරීම පිණිස නව වෙබ් අඩවියක් විවෘත කිරීම 'ශිෂ්‍ය මර්දනයේ තවත් එක් පියවරක් පමණයි'

විශ්ව විද්‍යාල තුල සිදුවන නවක වදය පිළිබඳව රහසිගතව පැමිණිලි කිරීමට හැකි වන ආකාරයෙන් නව වෙබ් අඩවියක් විවෘත කිරීම ශිෂ්‍ය මර්දනයේ තවත් එක් පියවරක් පමණක් බව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය පවසයි.

කෙසේ නමුත් නවක වදය සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීම උදෙසා වෙබ් අඩවියක් පමණක් නොව නවක වදය පැමිණිලි කිරීම පිණිස විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දිය යුතු බව නවක වදයට එරෙහි තරුණ කණ්ඩායමක අදහසයි.

නවක වදය පිළිබඳව රහසිගත දැනුම් දීම පිණිස විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම සිදු කළේ ශිෂ්‍ය මර්දනය උදෙසා නවක වදය ආයුධයක් ලෙසින් යොදා ගැනීම බවයි ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ.

අන්තර්ජාල පෙත්සමක්

"ආණ්ඩුව දැන් විශ්ව විද්‍යාල ඇතුලේ කිසිදු අධ්‍යයන සුභ සාධක කටයුත්තකට මැදිහත් නොවූ ආකාරයට මේකට මැදිහත් වෙමින් ඉන්නව," ඔහු පැවසීය.

"මේ එකක්වත් කරන්නේ ශිෂ්‍යයන් ගැන අනුකම්පාවෙන් නවක වදය නැවැත්වීමට නෙවෙයි," බව පවසන ලහිරු වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ නවක වදය නැවැත්වීමේ 'සැබෑ වුවමනාවක්' ආණ්ඩුවට වඩා ශිෂ්‍ය ව්‍යාපාරයට තිබෙන බවයි.

Image caption නවක වදය පිළිබඳව පැමිණිලි කළ හැකි විශේෂ දුරකතන අංකයක් ලබා දෙන මෙන් 'හෑෂ්ටෑග් පරපුර' බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි

කෙසේ නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ඇතුලත් 'හෑෂ්ටෑග් පරපුර' තරුණ කණ්ඩායම පවසන්නේ නව වෙබ් අඩවිය හඳුන්වා දීම ඉතා සාධනීය පියවරක් බවයි.

එපමණක් නොව ඉන්දියාවේ පවතින ආකාරයේ විශේෂ දුරකතන අංකයක්ද හඳුන්වා දෙන මෙන් ඉල්ලා සිටිමින් 'හෑෂ්ටෑග් පරපුර' විසින් අන්තර්ජාල පෙත්සමක්ද ආරම්භ කර තිබේ.

විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි කිරීම සඳහා සියලු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සතුව 'ස්මාර්ට්' වර්ගයේ ජංගම දුරකතන නොමැති බවයි එම කණ්ඩායමේ ප්‍රකාශකයකු වන සෙනෙල් වන්නිආරච්චි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.

"දැන් අපේ රටේ ගොඩක් දේවල්වලට ඒ වගේ දුරකතන අංක තියනවා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන්, ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්," ඔහු පැවසීය.

සිය අන්තර්ජාල පෙත්සමට බොහෝ දෙනාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවයි 'හෑෂ්ටෑග් පරපුර' පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්