පොකුරු බෝම්බ ප්‍රහාර චෝදනා කැබිනට් මාධ්‍ය හමුවේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොකුරු බෝම්බ ප්‍රහාර චෝදනා කැබිනට් මාධ්‍ය හමුවේ

ශ්‍රී ලංකා හමුදා යුධ සමයේ පොකුරු බෝම්බ භාවිතා කල බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩුව පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ආරම්භයේ දී මෙවන් චෝදනා එල්ල කිරීම දිගින් දිගටම සිදු වන දෙයක් බවයි, අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන සමයේ රජය විසින් ප්‍රකාශයට පත් කල යුද මුක්ත කලාපයට පහර දීමේ දී පොකුරු බෝම්බ යොදා ගත් බව දැක්වෙන ඡායාරූප සාක්ෂි තිබෙන බව පසුගිය දා එංගලන්තයේ 'ද ගාර්ඩියන්' පුවත්පත මගින් වාර්තා කර තිබුණි.

උතුරේ යුද කලාපයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත වෙමින් සිටි කණ්ඩායම් වලට පුපුරා ගිය සහ පුපුරා නොගිය පොකුරු බෝම්බ හමු වී ඇති බවයි පසුගිය ජූනි 20 දින 'ද ගාර්ඩියන්' පුවත්පතේ පළ කර තිබුණ දීර්ඝ ලිපියක් මගින් ප්‍රකාශ කර තිබුණේ.

සොයා ගනු ලැබුණ බෝම්බ වලින් කොටසක් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 'යුද විරහිත කලාපයක්' හැටියට ප්‍රකාශයට පත් කර තිබුණ කලාපයෙන් හමු වූ බව බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත වූ පුද්ගලයන් පවසන බවත් 'ද ගාර්ඩියන්' පුවත්පතේ පළ කොට ඇති ලිපියේ දැක්වෙයි.

'ද ගාර්ඩියන්' හෙළිදරව්ව

'සාලෙයි' සහ 'සුන්ඩිකුලම්' ප්‍රදේශයෙන් එම පොකුරු බෝම්බ හසු වූ බව එමගින් පැවසෙයි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එල්ල කෙරෙන එම චෝදනාව ගැන අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් රාජිත සේනාරත්න ඇමතිවරයා වෙත යොමු කරන ලද අතර ඇමතිවරයා එම චෝදනා බැහැර කළේය.

ඇමතිවරයා පවසන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයක් ලංවෙත්ම එවැනි ප්‍රකාශන නිතරම මෙන් සිදු කෙරෙන බවයි.

' ඔවුන් ඔය වගේ පින්තූර කීයක් ඉදිරිපත් කළාද ? ඔය පොකුරු බෝම්බ වල කොහේවත් ගහලා තියෙනවද ශ්‍රී ලංකා හමුදා කියලා. මුලින්ම හොයන්න ඕන මේ දර්ශන ලංකාවේද කියල. දෙවැනි එක ඒවා හමුදාවේ ද කොටි සංවිධානයේ ද කියලා දන්නේ කොහොමද. කවුරු වල දැම්මද කියල කොහොමද දන්නේ. ඒ අය ඒ ගැන ඒ වෙලාවේ නොකිව්වේ ඇයි? බිම් බෝම්බ ඉවත් කරලා දැන් අවුරුදු හයක් විතර වෙනවා' ඇමතිවරයා ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාවේ හමුදා පොකුරු බෝම්බ භාවිතා නොකළ බව සඳහන් කළ ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන බිම් බෝම්බ ඉවත් කරන කණ්ඩායම් එවන් දෙයක් හසු වීනම් ඒ ගැන මුලින්ම රජයට දැනුම් දිය යුතු බවයි කියා සිටියේ.

"ජිනීවා නගරයේ දී ශ්‍රී ලංකාව සාකච්ඡාවට ගන්න වෙලාවේ මේක රජය අමාරුවේ දන්නා කරපු වැඩක්.කලිනුත් මේ චෝදනා ආවා. ලංකාවේ හමුදාව පොකුරු බෝම්බ භාවිතා කළේ නැහැ' නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මාධ්‍ය තර්ජන ප්‍රකාශන

මෙම මාධ්‍ය හමුවේ දී අවධානයට ලක් වූ තවත් කාරණයක් වුණේ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලදැයි පැවසෙන තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳවයි.

යුද හමුදාව මාධ්‍ය මර්දනයේ යෙදෙන බවට ඔහු කළ ප්‍රකාශය ගැන බීබීසිය කැබිනට් මාධ්‍ය හමුවට සහභාගී වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ජයනාත් ජයවීරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළ බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර ඇති අතර එබැවින් ආරක්ෂක අමාත්‍යංශය ඊට යොමු වීමේ උවමනාවක් නොමැති බවයි.

අද කැබිනට් මාධ්‍ය හමුවේ දී පුද්ගලික රෝහල්වල බාහිර රෝගීන්ට බල පෑ වැට් බද්ද ඉවත් කිරීමට රජය පියවර ගත් බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් නිවේදනය කරනු ලැබුණි.