ළමා ශ්‍රම සූරාකෑමට වැට බඳින ප්‍රතිඥාවක්

Image copyright PFB
Image caption ළමා ශ්‍රම සූරා කෑමට එරෙහිව ප්‍රතිඥා දෙමින්

ළමා ශ්‍රමය සුරා කමින් ළමා හිංසනයේ නිරත වන පුද්ගලයන්ට ලබා දිය හැකි ඉහළම දඬුවම් දෙමින් ඔවුන් පිළිබඳව සමාජයට හෙළිදරව් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.

දරුවන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඉහළ වගකීමකින් කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (22) පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ප්‍රකාශය කළේ.

ළමා හිංසනය වැළැක්වීම සඳහා අන්තර්ජාතික බැඳීම්වලට අනුගතව කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා දරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට හේතු වෙන ප්‍රධාන සාධකයක් වන දිළිඳු බව තුරන් කර රටේ ආර්ථීකය ශක්තිමත් කිරීමට ද රජය කැප වී සිටින බවයි අවධාරණය කළේ.

ළමා අපචාරවලින් සහ ළමා හිංසනයෙන් දරුවන් බේරා ගැනීමට නීති රීති සම්පාදනය කිරීම මෙන්ම පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුනත් නීතියෙන් පමණක්ම එය සිදු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සමාජයේ වගකිවයුතු සියලු දෙනා ඒ පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

Image copyright PFB
Image caption ළමා ශ්‍රම සූරා කෑමට එරෙහි දිනය නිමිත්තෙන්

ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රම සූරා කෑම තුරන් කිරීමේ ප්‍රතිඥාවට අත්සන් තැබීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු විය.

ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂ ඩොන්ග්ලීන් ලී ශ්‍රී ලංකාව ළමා ශ්‍රම සූරා කෑමෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා වූ ප්‍රතිඥාව ජනාධිපතිවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම ප්‍රතිඥාවට අත්සන් තබනු ලැබුණි.

එම ප්‍රතිඥාව කෙටි පණිවුඩ හරහා සමාජගත කිරීමට මුල පිරීමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් එම අවස්ථාවේ සිදු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්