නිදහස් වෙළෙඳ කලාපයෙන් ආණ්ඩුවට රතු එළියක්

කම්කරුවෝ උද්ඝෝෂණයේ
ඡායාරූප ශීර්ෂ වැකිය,

කම්කරුවෝ උද්ඝෝෂණයේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව අද (22) දියත් කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් සහ බලධාරීන් යත්න දරන ලද බවට වෘත්තීය සමිති නායකයෝ චෝදනා කරති.

ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය ප්‍රධාන වෘත්තීය සමති හයකින් සැදුම් ලත් ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව විසිනි එම උද්ඝෝෂණ ව්‍යාපාරය කැඳවා තිබුණේ.

බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න විසින් කරන ලද විමසීමක දී ලංකා වාණිජ සහ කාර්මික සංගමයේ කටුනායක ශාඛාවේ ලේකම් සුගත් රාජපක්ෂ කියා සිටියේ සිය උද්ඝෝෂණය අතරමඟ කඩාකප්පල් කිරීමට හාම්පුතුන් සහ බලධාරීන් උත්සාහ කළ බවයි.

'අද උද්ඝෝෂණයට කම්කරුවන් තුන් දහසක් පමණ සහභාගී වුනා. ඒ වගේම තවත් සේවකයන් විශාල සංඛ්‍යාවක් ඊට එක්වීමට නියමිතව තිබුණා. ඒත් හාම්පුතුන් අද සවස හතරට අවසන් විය යුතු වැඩ මුරය අවසන් කළේ නැහැ. ඒ නිසා විශාල පිරිසකට අප සමඟ එක වීමට නොහැකි වුනා' කම්කරු ලේකම් සුගත් රාජපක්ෂ පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

සටන් පාඨ හඬ නගමින්

එහෙත් හාම්පුතුන් දිගටම මේ ආකාරයට කම්කරු මර්දනයට ගියොත් කම්කරුවන් ඉදිරි කාලයේ තවත් පෙරට එන තත්වයක් පවතින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

නිදහස් වෙළෙඳ කලාපයේ ගයාන් ප්‍රදීප් කම්කරුවා සඳහන් කළේ වෘත්තීය සමිතියක් හැදීමට ගිය තමාට මැර තර්ජන ආදියට පවා මුහුණ දෙන්නට සිදු වූ බවයි.

අනතුරුව තමා වැඩ තහනමට ලක් කරනු ලැබුණ බවත් ගයාන් ප්‍රදීප් පවසයි.

අද උද්ඝෝෂණ ව්‍යාපාරයට හවුල් වෙමින් සිටි ඇතැම් කම්කරු කතුන් බීබීසියට කියා සිටියේ නිදහස් වෙළෙඳ කලාපය තුළ 'හාම්පුතුන් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම වැඩි වී ඇති' බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කාන්තා හඬ

පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ආණ්ඩුව විසින් පසුගියදා වැඩි කරන ලද රුපියල් 2000 වැටුප් වැඩි වීම තවමත් ගෙවන්නේ නොමැති බවයි නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සංගමයේ සම ලේකම් ඇන්ටනි මාර්කස් කියා සිටියේ.

කටුනායක සමහර කම්හල් හිමියන් බලගතු දේශපාලකයන්ගේ ඥාතීන් වීම ඊට බල පා ඇති බවත් ඇන්ටනි මාර්කස් පවසයි.

ආණ්ඩුව මානව හිමිකම් සුරැකීමට කටයුතු කළත් කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු නොකලොත් GSP තීරු බදු සහනය නොලැබීමට ඉඩකඩ ඇති බවට නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සංගමයේ සම ලේකම්වරයා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

'GSP සහනයත් අනතුරේ '