තොරතුරු හංගන්න තවත් ඉඩකඩ නැහැ-රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

අගමැති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ අනාගත ආණ්ඩුවලට තොරතුරු සැඟවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත් අවස්ථාවේ.

2003 වසරේ තම ආණ්ඩුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් සිය ආණ්ඩුව පරාජය වීමෙන් අනතුරුව බලයට පත් කිසිම ආණ්ඩුවක් එය ක්‍රියාවට නැංවීමට මෙතෙක් පියවර නොගත් බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසාදයට ලක් වී ඇති අතර එය කලාපයේ දෙවැනි වන්නේ ඉන්දියානු පනතට පමණක් වන බවයි.

එම විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් දක්වමින් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත තුළින් ඇතැම් අංශ වල තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අහිමි කෙරෙන බවයි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ මෙම පනත් කෙටුම්පතට බාධා කිරීම නොව එය තවත් ශක්තිමත් කළ යුතු බවයි.