තොරතුරු දැන ගැනීමේ පනතේ ඉදිරි අභියෝග

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන
තොරතුරු දැන ගැනීමේ පනත නීතිගත කෙරුණත් එසැණින් සියල්ල සම්පූර්ණ නොවන අතර එය ක්‍රියාවට නැංවීමේ අභියෝගය දැන් උදා වී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසයි.
පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත වීමෙන් අනතුරුව් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ නියෝජ්‍ය ඇමතිවරයා මාස හයක කාලයක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන තොරතුරු කොමිසම පිහිටුවීමේ වගකීම දැන් සිය අමාත්‍යංශයට පැවරී ඇති බවයි සඳහන් කළේ.
පනත යටතට වැටෙන මහජන අදිකාරී ආයතන හාරදහසක් පමණ ඇතැයි කියා සිටි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන එම හැම ආයතනයක් සඳහාම තොරතුරු නිලධාරියකු සහ විනය නිලධාරියකු පත් කළ යුතුව ඈති බවයි පෙන්වා දුන්නේ.
ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ මෙම පනතින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට මහජනතාව උනන්දු කරවීම බවත් ඔහු පවසයි.
පනතේ හැඳින්වීම
'ශ්‍රී ලංකාව මේ පනත දිනා ගත්තේ අසල්වැසි ඉන්දියාව වැනි රටවල මෙන් විශාල අරගලයකින් නොවෙයි. ඒ නිසා මෙවැනි පනතක් ඇති බවට දැනුවත් කොට ඉන් පල ලබා ගන්නා මෙන් මහජනයා පෙළඹවිය යුතුව තියෙනව. එම දැනුවත් කිරීමේ ක්‍රියාවලියකුත් අපට පැවරී තිබෙනවා' ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කියා සිටියි.
ඉදිරි පළමු මාස හය ඇතුළත ස්වාධීන කොමිසම පිහිටුවන අතර අනතුරුව තොරතුරු දැන ගැනීමේ පළමුවෙනි අයදුම්පත අඩු තරමින් ලබන වසරේ ජනවාරි මාසයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි ඔහු සඳහන් කළේ.
එවැනි ක්‍රියාවලියක් තුළ අදින් වසරක් ඇතුළත මෙම පනත මගින් සමස්ත රාජ්‍ය පද්ධතියම ආවරණය කිරීම ජන මාධ්‍ය අමාත්‍යංශයේ ඉලක්කය බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.