අලිඇතුන්ට 'එක්ස්-රේ' යන්ත්‍ර නැහැ - වනජීවී ඇමති

මීට දින කීපයකට පෙර මිය ගිය හම්බන්තොට වරාය භූමියේ කාණුවක වැටි සිටියදී බේරා ගත් අලි පැටවා
ඡායාරූප ශීර්ෂ වැකිය,

මීට දින කීපයකට පෙර මිය ගිය හම්බන්තොට වරාය භූමියේ කාණුවක වැටි සිටියදී බේරා ගත් අලි පැටවා

වනජීවී දෙපාර්තමේන්තුව තුළ පශු වෛද්‍යවරුන්ගේ සහ රෝගී අලිඇතුන් 'එක්ස්-රේ' කිරීම සඳහා යොදා ගන්නා උපකරණවල හිඟයක් ඇති බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පිළිගනියි.

හම්බන්තොට වරාය භූමියේ කාණුවක වැටි සිටියදී බේරා ගත් මාස තුනක් පමණ වයසැති අලි පැටවා මීට දින කීපයකට පෙර මිය ගිය අතර ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරයා නිවාඩු ගොස් ඇති බැවින් අලි පැටවාට දින කීපයක සිට නිසි ප්‍රතිකාර ලබා දී නොමැති බව වනජීවී නිලධාරියකු මීට ඉහතදී සංදේශයට කියා සිටියේය.

අලි පැටවා මිය යාමට පෙර ඇත් අතුරු සෙවනට තාවකාලිකව අනුයුක්ත කරන ලද පශු වෛද්‍යවරයා ද වෙනත් ප්‍රදේශයක සිටින අලියකුට ප්‍රතිකාර කිරීම සඳහා යොමු කොට සිටි බවත් අමාත්‍යවරයා පිළිගත්තේය.

''සුළු ප්‍රමාදයක් උනා මම නෑ කියන්නේ නැහැ. ඒ නිසා මේක ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.''

කෙසේ වෙතත් රෝගී අලි පැටවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා අලිඇතුන් 'එක්ස්-රේ' කිරීමට යොදා ගන්නා උපකරණ ඇත් අතුරු සෙවන සතුව නොතිබූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

'අලුතින් පශු වෛද්‍යවරු'

අලි අතුන් 'එක්ස්-රේ' කිරීම සඳහා යොදා ගන්නා උපකරණ කට්ටල මිලෙන් අධික බවත් එවැනි උපකරණ කට්ටලයක් නිර්මාණය කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේය.

වනජීවී දෙපාර්තමේන්තුවට සිටින්නේ පශු වෛද්‍යවරුන් නව දෙනකු පමණක් බව මේ අතර සමස්ත ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන පැවසීය.

වනජීවී අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහු කියා සිටියේ වසර 'පහළොවකින් විස්සකින්' වනජීවී දෙපාර්තමේන්තුවට පශු වෛද්‍යවරුන් බඳවා ගෙන නොමැති බවයි.

පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කොට වනජීවී දෙපාර්තමේන්තුවට අලුතින් පශු වෛද්‍යවරුන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් පැවසීය.