අතුරුදහන් වූවන් ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ

සංරක්ෂිත ඡායාරූපයක් Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

යුද්ධයේ අවසාන භාගයේදී අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වව්නියාව බස් නැවතුම්පොළ ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක් පවත්වති.

අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායිකා පී.ජෙයවනිතා එහිදී කියා සිටියේ සිය ඥාතීන් යුද්ධයෙන් අතුරුදහන් වූවන් ලෙස හැඳින්විය නොහැකි බවයි.

යුද්ධයේ අවසන් දින කීපය තුළදී වන්නියේ දෙමළ ජනතාව මුලතිවු පළාතට කොටු වී සිටි අවස්ථාවේදී යුද හමුදාව විසින් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබූ බවත් තවත් පිරිසක් යුද හමුදාවේ ඉල්ලීම මත බාර වූ බවත් ඇය කියා සිටින්නීය.

කෙසේ වෙතත් ඇසින් දුටු සාක්කි සහිතව අත් අඩංගුවට පත් වූ හා බාර වූ පිරිස මේ දක්වා සිය නිවෙස්වලට නොපැමිණි හෙයින් වහාම ඔවුන් සොයාදෙන ලෙස විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

වවුනියාවේ පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස කියා සිටියේ හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ විසින් තම දරුවන් අත් අඩංගුවට ගත් අයුරු තමන් දුටු බවයි.

'ඇසින් දුටුවෝ'

නම් ගම් සහිතව හමුදාවට බාර දුන් තම ඥාතීන් මෙතෙක් සිටින ස්ථානයක් නොදන්නා බවද තවත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් කියා සිටියහ.

වත්මන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ ඉතා හොදින් දන්නා බවත්, වත්මන් රජය බලයට පත් කිරීමට දෙමළ වැසියන් ඉදිරිපත් වූයේ මෙම ගැටළුවලට විසඳුම් සොයා ගැනීම පිණිස යැයිද උද්ඝෝෂණයට සම්බන්ධ වූවෝ පැවසූහ.

වවුනියාවේ මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණේ යුද්ධයේ අවසන් දින කීපය ඇතුළත නම්ගම් හා සාක්ෂි සහිතව යුද හමුදාවට බාර දුන් දෙමළ තරුණයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිවු අධිකරණයේ නඩු දාහතරක් ගොණු කොට ඇති අතරතුරයි.

හිතාමතාම හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයින් වහාම සොයා දෙන ලෙස ඉහත කී නඩු වලින් ඉල්ලා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර