බීම වල සීනි ප්‍රමාණයට වර්ණ දර්ශකයක්

Image caption මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ බීම නිෂ්පාදන සමාගම් වල නිලධාරීන් පිරිසක් සහභාගිව සිටියහ.

සෑම බීම වර්ගයකම අඩංගු වන සීනි ප‍්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත‍්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

සීනි සඳහා වැඩි බදු

සීනි නිෂ්පාදනය සදහා අය කරන බදු ප්‍රමාණය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම් සදහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

එම ගැසට් පත‍්‍රය 2016.08.01 දින සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව පවතින අතර ඒ අනුව ආහාර පාලන පනතේ විධිවිධාන යටතේ සෑම බීම වර්ගයකම මිලිලීටර් 100 ක් සදහා ග්‍රෑම් 11 කට වැඩි වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණයෙන් ද, ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු කොළ වර්ණයෙන් ද සඳහන් විය යුතුය.

බෝ නොවන රෝග පාලනය

මෙසේ වර්ණ සංකේතවත් කිරිම මගින් මහජනතාවට බීම වල සීනි මට්ටම් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ අනුව සුදුසු බීම වර්ග තෝරා ගත හැකිය. එමගින් බෝ නොවන රෝග පාලනය කර ගැනිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන අරමුණයි.

මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම සදහා වසර 05 ක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසුවේ බෝ නොවන රෝග සඳහා බලපාන සීනි, ලුණු, මේදය බහුලව අඩංගු ආහාර පරිභෝජනය අවම කිරීමට කටයුතු කළ යුතු බවයි.

"වර්තමානයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් සියයට 70 ක් ම බෝ නොවන රෝගවලට ගොදුරුවෙලා. එම තත්ත්වයෙන් ජනතාව බේරාගැනීමේ පියවරක් ලෙස මෙම බීම සහ ආහාරවල සීනි අවම කිරීමේ වැඩපිළීවෙල ක‍්‍රීයාත්මක කළ යුතුයි. ඉදිරියේ දී සීනි නිෂ්පාදනය සදහා අය කරන බදු ප‍්‍රමාණය ඉහළ නැංවීමට මම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනවා" යනුවෙනුයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට සිගරට් පැකට් තුළ රූපමය අවවාද ඇතුළත් රූප සටහන් සියයට 80 ක් ඇතුළත් කර තිබෙන අතර ඉදිරියේ දී කිසිදු සඳහනක් නොමැති සිගරට් පැකට් නිෂ්පාදනය කළ යුතු බව සදහන් කරමින් නියෝග නිකුත් කිරීමට සුදානමක් පවතින බවද ඔහු පැවැසීය.

බීබීසී යෙන්