'ආණ්ඩුව අනුමත ණය සීමාව ඉක්මවා ගිහින්'

ඡායාරූප මූලාශ්‍රය, JVP
පරීක්ෂණය නිම වනතුරු මහ බැංකු අධිපතිවරයා ඔහුගේ ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරන බවයි ඔහු කියා සිටියේ
ශ්‍රී ලංකාවේ වර්තමාන රජය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.
පාර්ලිමේන්තුවෙන් නිර්දේශ කර තිබුණු ණය සීමාව මිලියන දාහත් ලක්ෂ අසු දහසක් වන අතර, මිලියන තිස් පන්ලක්ෂ හතළිස් නවදහස් අටසියයකට අධික ණය ප්‍රමාණයක් ආණ්ඩුව දැනටමත් ලබාගෙන ඇති බවටයි ඔහු චෝදනා කළේ.
පසුගිය රාජපක්ෂ ආණ්ඩු කාලය තුළ ණය පියවීමට මෙම ණය ගන්නා බව රජය කියා සිටින නමුත්, පාර්ලිමේන්තුවෙන් නිර්දේශ කර ඇති සීමාව ඉක්මවා ණය ගැනීමට නොහැකි බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මේ අතර මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රන් වත්මන් ආණ්ඩුව විසින් ආරක්ෂා කරමින් සිටින බවද විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මහ බැංකු අධිපතිවරයා පත්කර මාසයක් ගතවීමටත් පෙර, ඔහු තමන්ගේ බෑනාට මහබැංකු බැඳුම්කර විකුණමින් ඥාති ගනුදෙනුවක් කළ බව පෙන්වා දුන් විජිත හේරත් මන්ත්‍රීවරයා, මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත්, එම පරීක්ෂණය නිම වනතුරු මහ බැංකු අධිපතිවරයා ඔහුගේ ධුරයෙන් ඉවත් කරන ලෙසත් ආණ්ඩුවට බලකරන බවයි කියා සිටියේ.
ශ්‍රී ලන්කන් ණය බර රජය භාරගන්නවා - අගමැති රනිල්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය බර රජයට පවරා ගැනීමකින් තොරව එම ආයතනය ඉදිරියට ගිය හොත් සංචාරක කර්මාන්තය බිඳවැටීමේ අවදානමක් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.