සීනි භාවිතය අඩු කිරීමට 'බද්දක් පනවන්න'

සීනි භාවිතය අඩු කිරීමට 'බද්දක් පනවන්න' Image copyright Getty Images
Image caption "අසීමිත ලෙස සීනි ගන්න ගියහම ඒ ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අපි වැය කරන්නේ නැත්නම් ව්‍යායාමවලින් හෝ වැඩ කිරීමෙන්, නැත්නම් වයසට යන විට ප්‍රශ්න මතුවෙනවා"

ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය අවම කිරීම පිණිස සිගරට්, අරක්කුවලට පනවන ආකාරයේ බද්දක් පනවන මෙන් පෝෂණ විද්‍යාඥයෙක් ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනා කරයි.

ආහාර පෝෂණය සහ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ආචාර්ය පුෂ්පරාජා තවරාජා එම යෝජනාව කළේ, සෑම බීම වර්ගයකම අඩංගු වන සීනි ප‍්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත‍්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කළ නිවේදනය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදීයි, අමාත්‍යවරයා ඒ බව නිවේදනය කර තිබෙන්නේ.

අමාත්‍යවරයාගේ තීන්දුව 'ඉතා හොඳ අදහසක්' වුවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරනු පිණිස බීම වර්ගවල සීනි ප්‍රමාණය සටහන් කිරීම පමණක් ප්‍රමාණවත් නැති බවයි ඔහු පවසන්නේ.

බීම වර්ගවල පමණක් නොව සියලුම ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය එම ආහාරවල සටහන් කළ යුතු බවට පසුගියදා මිචෙල් ඔබාමාගේ ප්‍රධානත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් ඉදිරිපත් වූ බව පෙන්වා දෙන පෝෂණ විද්‍යාඥයා පවසන්නේ එවැන්නක් ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක විය යුතු බවයි.

"අසීමිත ලෙස සීනි ගන්න ගියහම ඒ ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අපි වැය කරන්නේ නැත්නම් ව්‍යායාමවලින් හෝ වැඩ කිරීමෙන්, නැත්නම් වයසට ප්‍රශ්න මතුවෙනවා," ආචාර්ය පුෂ්පරාජා තවරාජා පැවසීය.

තරබරුභාවය සහ දියවැඩියාව

Image copyright Getty Images
Image caption ආගන්තුකයකු වෙත තේ කෝප්පයක් පිළිගැන්වීමේදී සීනී වෙනමම ලබා දීම යෝග්‍ය බවයි අචාර්ය තවරාජා පෙන්වා දෙන්නේ

"තරබාරුකම ඇතිවෙනවා, නැත්නම් දියවැඩියාව. ලංකාවෙත් දැන් පොඩි ළමයින්ගේ පවා තරබාරුකම ප්‍රශ්නයක් බවට පත්වෙමින් තියෙනවා," ඔහු පැවසුවේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

බීම වර්ගවල සහ ආහාරවල අඩංගු සරල සීනි හෙවත් සුක්‍රෝස් වර්ග පාලනය කිරීම යහපත් පියවරක් බවයි, පෝෂණ සංඝටක සහ ඖෂධ නිෂ්පාදන පෞද්ගලික සමාගමක පෝෂණවේදියකු වන මුදිත් ධර්මප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් ඒ සඳහා වර්ණ හඳුන්වාදීමට පෙර සීනි පරිභෝජනයේ ආදීනව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෝෂණවේදියා අවධාරණය කරයි.

"සරල සීනි වැනි දේවල් දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන්, එහෙම නැත්නම් සරල පිෂ්ඨය සමඟ ගැනීමෙන් දීර්ඝ කාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇතිවෙනවා කියන එක ගැන අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍යයි," මුදිත ධර්මප්‍රිය සඳහන් කළේය.

"ඒ වගේම සමබර ආහාර වේලක්. ඒ කියන්නේ සීනි අඩු, විශේෂයෙන්ම තන්තු බහුල පලතුරු සහ එළවලුවලින් යුතු ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම ගැන සමාජය දැනුවත් කළ යුතුයි."

ඒ තර්කය පිළිගන්නා ආචාර්ය තවරාජා, ඒ පිළිබඳව ලාංකීය සමාජය දැනුවත් කිරීමට ආණ්ඩුව මෙන්ම ජනමාධ්‍යද බැඳී සිටින බව පෙන්වා දෙයි.

'ජාති සේවයක්'

ශ්‍රී ලංකාවේ ඉතා ඉහල සීනි පරිභෝජනය අවම කරනු වස් සීනි ආනයනයට බද්දක් පැනවීම මගින් සීනි පරිභෝජනය සීමා කෙරෙනු ඇති අතරම රජයට අතිරේක ආදායමක්ද ලැබෙනු ඇති බවයි පෝෂණ විද්‍යාඥයා පෙන්වා දෙන්නේ.

"දියවැඩියාව අපි කියමු ජනගහනයෙන් සියයට විසි පහක් කියල. මේ වගේ බද්දක් දැම්මොත් සියයට විස්සක් දක්වා අඩු කරගන්න පුළුවන් නම් ඒක ජාතියට කෙරෙන සේවයක් නේද?," ආචාර්ය පුෂ්පරාජා තවරාජා පැවසීය.

Image copyright Getty Images
Image caption ''සරල පිෂ්ඨය සමඟ ගැනීමෙන් දීර්ඝ කාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇතිවෙනවා කියන එක ගැන අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍යයි"

"එහෙම නැත්නම් රජයට කියන්න පුළුවන් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ මෙච්චරයි, මේ තුලින් ජීවත්වෙමු කියල තීරණයක් ගන්න."

ආගන්තුක සත්කාරය පිළිබඳව දෙස්, විදෙස් ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයාට ගෞරවයක් වශයෙන් තේ කෝප්පයට සීනි හැඳි විශාල ප්‍රමාණයක් දැමීමේ චාරිත්‍රය පිළිබඳවත් යළි සලකා බැලීමේ අවශ්‍යතාවය පෝෂණවේදීන් දෙදෙනාම අවධාරණය කරති.

ආගන්තුකයකු වෙත තේ කෝප්පයක් පිළිගැන්වීමේදී සීනී වෙනමම ලබා දීම යෝග්‍ය බවයි අචාර්ය තවරාජා පෙන්වා දෙන්නේ.

අධික වශයෙන් සීනි පරිභෝජනය කිරීමේ ආදීනව පිළිබඳව පාසල් මට්ටමේ සිටම අවබෝධයක් ලබා දිය යුතු අතරම, බීම වර්ගවල පමණක් නොව අනෙක් ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය පිළිබඳවත් ජනතාව දැනුවත් කළ යුතු බවත් පෝෂණවේදී මුදිත ධර්මප්‍රිය වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්