අපේ දරුවන්ට නිසි අධ්‍යාපන පහසුමක් නැහැ - සේරුවිල දෙමව්පියෝ

සේරුවිල දෙමව්පිය උපවාසය
ඡායාරූප ශීර්ෂ වැකිය,

'පාසල් අධ්‍යාපනය මුළු රටටම එක සමානයි. අපේ දරුවන්ට අවශ්‍ය ගුරුවරු නෑ. පන්ති කාමර නැහැ. ක්‍රීඩා පිටියක් නැහැ. ගුරු නිවාස නැහැ.'

සිය දරුවන්ට නිසි අධ්‍යාපන පහසුකම් නොමැති බව පවසමින් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් දෙකක දරුවන්ගේ දෙමව්පියෝ සේරුවිල නගරයේ උපවාසයක නිරත වී සිටිති.

කාලාන්තරයක් තිස්සේ පවතින ගුරු පුරප්පාඩු සහ භෞතික අඩුපාඩු සපුරා දෙන ලෙසට මහවැලි ගම මහ විදුහලේ සහ දෙහිවත්ත විදුහලේ ඉගනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

උපවාසයට එක්ව සිටින මහවැලි ගම මහ විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලින්ද සම්පත් පවසන්නේ ළමුන් 443 දෙනකු ඉගනුම ලබන එම පාසලේ ගුරුවරු එකොළොස් දෙනකුගේ පුරප්පාඩුවක් පවතින බවයි.

'පාසල් අධ්‍යාපනය මුළු රටටම එක සමානයි. අපේ දරුවන්ට අවශ්‍ය ගුරුවරු නෑ. පන්ති කාමර නැහැ. ක්‍රීඩා පිටියක් නැහැ. ගුරු නිවාස නැහැ. වසර තුනකට කලින් වැඩ අවසන් කරපු මහින්දෝදය විද්‍යාගාරය තවම විවෘත කරලා නැහැ. ඉතින් කිසිම පහසුකමක් නැතිව අපේ දරුවන් ජාතික මට්ටමේ විභාගවලින්, තරග වලින් ජය ගන්නේ කොහොමද?' ඔහු ප්‍රශ්න කරයි.

විශේෂයෙන්ම ඉංග්‍රීසි, ගණිතය, සෞන්දර්යය වැනි විෂයයන් සඳහා ගුරුවරුන් නොමැති වීම බරපතළ ගැටළුවක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගුරු හිඟය

කිසිම පහසුකමක් නැතිව අපේ දරුවන් ජාතික මට්ටමේ විභාගවලින්, තරග වලින් ජය ගන්නේ කොහොමද?'
ඡායාරූප ශීර්ෂ වැකිය,

'කිසිම පහසුකමක් නැතිව අපේ දරුවන් ජාතික මට්ටමේ විභාගවලින්, තරග වලින් ජය ගන්නේ කොහොමද?'

අධ්‍යාපන බලධාරීන්ට ඇතුළු වගකිවයුත්තන්ට කන්නළව් කොට පළක් නැති තැන උපවාසයට අවතීර්ණ වූ බවයි නලින්ද සම්පත් පවසන්නේ.

දෙහිවත්ත විදුහලේ ඉගනුම ලබන දරුවන්ගේ මව් පියවරු විසි දෙදෙනක් උපවාසයට එක් වී සිටිති.

ළමුන් 158 දෙනකු අකුරු කරන දෙහිවත්ත පාසලට සිටින්නේ ගුරුවරු දස දෙනෙකු පමණක් බව පවසා සිටි උපවාසයට එක් වී සිටි එක් මවක් වන ප්‍රියංකා රංජනී අවුරුදු තුනක සිට තවත් ගුරුවරු පස් දෙනකුගේ අඩුවක් පවතින බවයි කියා සිටියේ.

සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු උපවාසය අත් නොහරින බව ඔවුහු අවධාරණය කරති.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසූ අවස්ථාවේ සිය නම් සහ තනතුරු හෙළි කිරීමට අකමැති වූ එහි නිලධාරීන් කියා සිටියේ කලාපය තුල තුන්සියයකගේ පමණ ගුරු හිඟයක් පවතින බවයි.

එසේම විශාල වශයෙන් භෞතික සම්පත් හිඟයක්ද පවතින බව පෙන්වා දෙන ඉහත කී නිලධාරීන් එම ගැටළු විසඳීමට දේශපාලන බලාධිකාරිය මැදිහත් විය යුතු බවයි අවධාරණය කළේ.