වැට් බද්දේ තවත් සංශෝධනයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැට් බද්දේ තවත් සංශෝධනයක්

ජන ජීවිතයට බලපා ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කොට සහන සැලසීමේ අරමුණින් නැවතත් වැට් බදු සංශෝධනයක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බදාදා ගිරාඳුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ පැවති වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ත්‍රික් ජාතික වැඩසටහනට එක් වෙමිනි.

රාජ්‍ය නිලධාරියන්ගේ වාහන බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අහිමි වූ වරප්‍රසාදය නැවත ලබා දීමට මේ වන විට චක්‍රලේඛ නිකුත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දැනට සිටින මහ බැංකු අධිපතිවරාගේ නිල කාලය හෙට (30) අවසන් වන බැවින්, ඉදිරි පැය කීපය තුළ නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

බරපතළ සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය, නිවාරණය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවට අනාවරණය වීමත් සමග ග්ලයිෆොසේට් වල් නාශකය ගෙන්වීම රජය තහනම් කළ අතර ඒ වෙනුවෙන් ගෙන්වන විකල්ප වල් නාශකය පිළිබඳවද මේ වන විට පර්යේෂණ සිදු කරමින් පවතින බවත් එම වල් නාශකය ද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින්නේ නම් එය ගෙන්වීමද වහාම නැවැත්වීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.