යුද අපරාධ පරීක්ෂණ ප්‍රමාද කරන්නේ නැහැ- මංගල සමරවීර

විදේශ ඇමතිවරයා මානව හිමිකම් සැසිවාරයේ

ඡායාරූප මූලාශ්‍රය, Sunanda Deshapriya

ඡායාරූප ශීර්ෂ වැකිය,

විදේශ ඇමතිවරයා මානව හිමිකම් සැසිවාරයේ

යුද සමයේ සමයේ සිදු විනැයි චෝදනා කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබීම උපාය මාර්ගික වශයෙන් ප්‍රමාද කෙරෙන බවට පළ වෙන අදහස් බැහැර කරන බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි.

විදේශ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ ජිනීවා නගරයේ දී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ 32 වැනි සැසි වාරය අමතමිනි.

විදේශ ඇමති මංගල සමරවීර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ ජිනීවාහි නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ ඇතුළු කණ්ඩායමක් මෙවර සමුළුව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරති.

තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා කියා සිටියේ සංහිඳියා ක්‍රියාදාමය සහ වගවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සෑම පාර්ශවයක් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරන බවයි.

සංහිඳියා ක්‍රියා මාර්ගයේ දුෂ්කරතාව පැහැදිලි කළ විදේශ ඇමති මංගල සමරවීර ආණ්ඩුව බලයට පත් දිනයේ පටන් එම අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ඇති අකාරය දීර්ඝ වශයෙන් විස්තර කරමින් ඉදිරි කාලය වඩාත් අභියෝගාත්මක එකක් වන බවයි සඳහන් කළේ.

'යහපාලනයක් තුළ නීතියේ ආධිපත්‍යය සහතික කරමින් ශ්‍රී ලාංකික සමාජය තුළ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට සහතික කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව' කියා සිටි විදේශ ඇමතිවරයා මේ කාරණය නිරීක්ෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත බවත් අවධාරණය කළේය.

'ඉදිරියේ ඇත්තේ නිර්මාණාත්මක පියවර ගත යුතු දුෂ්කර ගමනක්' විදේශ ඇමතිවරයා පවසයි.

සමුළු නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින්

ඡායාරූප මූලාශ්‍රය, Sunanda Deshapriya

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමුළු නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින්

ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග 'කුඩා පියවර' හැටියට කෙනෙකුට පෙනී යාමට ඉඩ ඇතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට මේ වන විට ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග 'යෝධ පියවර' හැටියටයි මංගල සමරවීර ඇමතිවරයා විසින් විග්‍රහ කරන ලද්දේ.

උතුරු නැගෙනහිර සිදු කෙරෙමින් ඇති වැඩ පිළිවෙළ විස්තර කරමින් ඔහු කියා සිටියේ යුද හමුදාව පාවිච්චියට ගනිමින් තිබුණ ඉඩම් ඒවායේ මුල් පදිංචි කරුවන්ට පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.

ආණ්ඩුවේ ප්‍රයත්නය කල් පවත්නා සෞභාග්‍යමත් සමාජයක් නිර්මාණය කිරීම වන බවයි විදේශ ඇමතිවරයා පිළිබඳ එක්සත් ජාතීන්ගේ 32 වැනි සැසිවාරය අමතමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාළ යාන්ත්‍රනය ඒ ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට විශ්වාසය තැබිය හැකි එකක් විය යුතු බවයි මංගල සමරවීර පෙන්වා දුන්නේ.

ලබන වසරේ මාර්තු මාසයේ තමා මෙම ස්ථානයට පැමිණෙන්නේ වඩාත් සාර්ථක පියවර ගනු ලැබීමෙන් අනතුරුව බවත් විදේශ ඇමතිවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් මේ වසර අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන බවත් ඔහු සැසිවාරය අමතමින් කියා සිටියේය.

මහ කොමසාරිස් විග්‍රහය

මුදල් ඇමතිවරයාට පෙර සැසි වාරය අමතා කතා කළ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සංහිඳියාව උදෙසා අනුගමනය කරන ක්‍රියා මාර්ග අගය කිරීමට ලක් කළේය.

ජාතික ගීය සිංහල සහ දමිළ භාෂා වලින් ද ගයනු ලැබීම උතුරු පළාතේ මහ ඇමතිවරයා යාපනයේ බෞද්ධ විහාරයේ සංචාරයක නිරත වීම ආදී සිදුවීම් අගය කරමින් කරුණු දැක්වූ මහ කොමසාරිස්වරයා ආණ්ඩුව සුළු ජාතික ප්‍රජා කාණ්ඩවල විශ්වාසය දිනා ගැනීම උදෙසා වඩාත් කඩිනම් පියවර ගනු ලැබීමට අසමත් වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය.

යුද හමුදාවට පවරා ගත් ඉඩම් ආපසු පැවරීමට පියවර ගෙන ඇතත් එය සෙමෙන් සිදු කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකා යුද හමුදා උතුරු පළාතේ මහා පරිමාණයෙන් රැඳී සිටීම ගැනත් මහකොමසාරිස් වරයාගේ අවධානය යොමු විය.

මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු
ඡායාරූප ශීර්ෂ වැකිය,

මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු

මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් සැසි වාරය ආරම්භ වීමට පෙර නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණයේ දී වින්දිතයන්ගේ විශ්වාසය සහතික කෙරෙන මට්ටමින් ජාත්‍යන්තර සහභාගිත්වය සහිත විභාගයක් පැවැත්වීම වැදගත් වන බවයි.

පරීක්ෂණ යාන්ත්‍රණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීභාවය සඳහා එවැනි යාන්ත්‍රණයක් වැදගත් වන බවයි මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ.