'නව රේගු පනත තවම කෙටුම්පත් කොට නැහැ'

වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන Image copyright Getty Images
Image caption ''කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කණගාටුදායකයි''

තවමත් කෙටුම්පත් කිරීමක් පවා සිදු නොකළ නව රේගු පනත පිළිබඳ අනිසි බියක් ඇති කර ගැනීමට හේතුවක් නොමැති බව ආණ්ඩුව අවධාරණය කරයි.

යෝජිත පනතින් රේගු බලධාරීන්ගේ බලතල අඩු කොට රේගු දෙපාර්තමේන්තුව විනාශ කිරීමේ සැලැස්මක් ඇති බවට රේගු සේවක වෘත්තීය සමිති නගන චෝදනා වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කළේ බදාදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රේගුව සුරැකීමේ සංවිධානය පසුගියදා ජනාධිපතිවරයාට සන්දේශයක් ඉදිරිපත් කරමින් චෝදනා කොට තිබුණේ යෝජිත රේගු පනත ක්‍රියාත්මක වුවහොත් රටේ ආර්ථිකය මුළුමනින්ම අරාජික වන බවයි.

රේගුව සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම් කරු ජේ ඒ ගුණතිලක සංදේශයට කියා සිටියේ යෝජිත පනත ජාවාරම්කරුවන්ට සහ කළුකඩ ව්‍යාපාරිකයන්ට වාසි සහගත වනු ඇති බවයි.

එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කෙටුම්පත් කොට නොමැති පනතක් සම්බන්ධයෙන් විරෝධය පෑම කනගාටුවට කරුණක් බවයි.

"මේ රේගු පනත වසර 100 කට වඩා පැරණියි, කවුරුහරි මේක සංශෝධනය කරනවා කිව්වම මේකේ ඇතුළේ තියෙන කිසි දෙයක් දන්නේ නැතුව, කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කණගාටුදායකයි.''

නව පනතක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ නමුත් එවැනි පනතක් කෙටුම්පත් කර නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පනත කෙටුම්පත් කළ පසු සියලු පාර්ශව සමග සාකච්ඡා කොට ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ.

"මේකෙන් රේගු නිලධාරීන්ගේ සේවයට හානියක් වෙනවා නම්, නැතිනම් රේගු නිලධාරීන්ගේ අභිමානයට හානියක් වෙනවා නම් ඒ ගැන අපි සාකච්ඡා කළ යුතුයි, අනික මේකෙන් අලුත් ආයතනයක් පිහිටුවනවා කියල උපකල්පනයක් කලොත් එක රේගුවේ අධීක්ෂණයෙන් වෙනවා නම් තවත් අයගේ සහය ලබාගැනීමේ වරදක් මම දකින්නේ නැහැ.''

සබැඳි විෂයයන්