මාධ්‍යවලට එරෙහි අපරාධ ගැන විශේෂ කොමිසමක් ඉල්ලති

මාධ්‍යවලට එරෙහි තර්ජන ගැන විශේෂ කොමිසමක් ඉල්ලති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගතව ගිය දශක කිහිපය ඇතුලත උතුරේත්, දකුණේත් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදු කෙරුණු අපරාධ පිළිබඳව සත්‍ය කොමිසමක් යටතේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන මෙන් මාධ්‍ය සංවිධාන ඉල්ලා සිටිති.

ජනමාධ්‍ය නිදහස සඳහා වූ සංවිධාන දහ තුනක නියෝජිතයන් 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' හමුවී සිය අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේ එම ඉල්ලීම කළ බවයි සාකච්ඡාවට එක් වූ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.

ඝාතනය කෙරුණු සහ පැහැර ගැනීම් හා පහරදීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ හැකියාව සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කිරීම එහිදී මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ගේ දැඩි විවේචනයට ලක් වූ බවත් ඔහු පැවසීය.

සත්‍යය සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගවීම සහතික කිරීම සහ හානි පූරණය යන කරුණු සම්බන්ධයෙන් ගත යුතු පියවරත්, ඒ සඳහා ඇති කළ යුතු යාන්ත‍්‍රණ පිළිබඳවත් මහජනතාවගේ අදහස් විමසා රජයට වාර්තා කිරීම සඳහායි, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' පත්කරනු ලැබුවේ.

යෝජනා

එම අරමුණු ඉටුකර ගැනීම පිණිස:

  • විශේෂ නීති උපදේශකයෙකු සහිත අධිකරණ යාන්ත‍්‍රණයක්,
  • සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව සඳහාත්, අතීත වැරදි නැවත ඇතිවීම වළකාලීම සඳහාත් වන කොමිසමක්,
  • සහන සම්පාදන කාර්යාලයක්,
  • අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක්

යන යාන්ත්‍රණ හතර පිහිටුවීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.

එයට අදාළ සත්‍ය කොමිසම් යාන්ත්‍රණය යටතේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් දීමේ බලතල හිමි විශේෂ කොමිසමක් පත් කළ යුතු බව මාධ්‍ය සංවිධානවල ඉල්ලීම වූ බවත් මාධ්‍යවේදී ජයසිරි ජයසේකර වැඩිදුරටත් පැවසීය.

එවැනි අපරාධ යළි සිදුවීම වැළැක්වීම සඳහා අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය ඔවුන් එහිදී අවධාරණය කර තිබේ.

'වරදකරුවන්ට දඬුවම්'

'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' මීට ඉහතදී ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ අංශවල නියෝජිතයන් මුණගැසුන අතර ඉදිරියේදී තවත් එවැනි හමුවීම් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

යෝජිත ව්‍යුහය සහ විෂය පථය ඇතුළු වෙනත් කරුණු පිළිබඳව සිය අදහස් දැක්වීම සඳහා මහජනතාව වෙත ලබා දී තිබූ කාලය ලබන ජුලි 15 වැනි දින දක්වා දීර්ඝ කරන බවද කාර්ය සාධක බලකාය නිවේදනය කර තිබේ.

එම අදහස්, ctf.srilanka@gmail.com නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ, ''ලේකම්, සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය, සංහිඳියා යාන්ත‍්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01'' යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ලියා දැන්විය හැකි බවත් කාර්ය සාධක බලකාය නිකුත් කළ නිවේදනයක සඳහන්.

නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම එහි සභාපතිනිය ලෙස කටයුතු කරන අතර ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු එහි ලේකම්වරයාය.

ගාමිණී වියන්ගොඩ, විසාකා ධර්මදාස, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ආචාර්ය ෆර්සානා හනීෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ, මිරාක් රහීම්, නීතිඥ කේඩබ් ජනරංජන එහි සෙසු සාමාජිකයෝ වෙති.