විගණන පනත ප්‍රමාදවීම බරපතල ගැටළුවක් -විගණකාධිපති

විගණකාධිපති දෙපාර්තමේන්තුව

ඡායාරූප මූලාශ්‍රය, Dinamina.lk

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය වාර්තාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම මගින් අගමැතිවරයා බලපෑමක් නොකළ බව විගණකාධිපතිවරයා පවසයි

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය තවත් තහවුරු කෙරෙන විගණන පනත ප්‍රමාදවීම හේතුවෙන් බරපතල ගැටළු ගණනාවක් පැන නැගී තිබෙන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

විශේෂයෙන්ම සිය දෙපාර්තමේන්තුව බඳවා ගැනීම, උසස්වීම් ඇතුලු සියළු පරිපාලන කටයුතු සිදුකරනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිසම මාර්ගයෙන් බව සඳහන් කළ විගණකාධිපතිවරයා, කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ඒ තත්වය වෙනස් වී ඇති බවත් පෙන්වා දෙයි.

"19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආපු වැදගත්ම කොමිෂන් සභාව තමයි, විගණන සේවා කොමිෂන් සභාව," ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව රාජ්‍ය සේවය දැනුවත් කිරීම පිණිස මහනුවර පැවති වැඩමුළුවකදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

කෙසේ නමුත් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් විගණන දෙපාර්තමේන්තුවේ උසස්වීම් ඇතුළු බොහෝ කටයුතු අඩාල වී තිබෙන බවයි, විගණකාධිපතිවරයා පවසන්නේ.

'බලපෑම්'

"සියලුම නිලධාරීන් විශාල අපහසුතාවයකට පත්වෙලා තියනවා පහුගිය අවුරුදු එකහමාර තිස්සෙම."

විගණන කොමිෂන් සභාව පිහිටුවීමත් සමඟම විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු වනු ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, NewsFirst

ඡායාරූප ශීර්ෂ වැකිය,

විගණන පනත ප්‍රමාදවීම හේතුවෙන් 'දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපහසුතාවයට පත්වෙලා'

වත්මන් ආණ්ඩුව විසින් ලබාගන්නා ලද ණය ප්‍රමාණය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම මගින් අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුට බලපෑම් කරන ලද බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කර තිබුණි.

එහෙත් තමන්ට එවැනි බලපෑම් ඇති නොවූ බවයි විගණකාධිපතිවරයා මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් කියා සිටියේ.

මහ බැංකුව

"නෑ බලපෑමක් නෙවෙයි, මම ව්‍යවස්ථාදායකයේ පුද්ගලයෙක් හැටියට පාර්ලිමේන්තුවේ ඕනෑම ඇමතිවරයකුට පැහැදිලි කරගැනීමක් නැත්නම් නිවැරදි කරගැනීමක් කරගැනීමේ හැකියාව තියෙනව," ඔහු පැවසීය.

මුලින්ම පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පරිදි මුදල් අමාත්‍යවරයාටත් පැහැදිලි කිරීමක් කළ බවයි විගණකාධිපතිවරයා පවසන්නේ.

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ආන්දෝලනය පිළිබඳ කෝප් කමිටුවේ ඉල්ලීම ප්‍රකාර සකස් කළ පිටු දහසකට අධික වාර්තාවේ රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධ ඇතැම් සංවේදී ලිපි ලේඛනද ඇතුලත් වන බැවින් සම්පූර්ණ වාර්තාව කතානායකවරයාට භාර දුන් බවද ඔහු සඳහන් කළේය.

"මගේ සංක්‍ෂිප්ත පිටු 100 ක වගේ ලේඛණයක් තමයි මම භාර දුන්නේ කෝප් කමිටුවට."

නව විගණන කොමිෂන් සභාව සතු බලතල සහ කාර්යභාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දීපව්‍යාප්ත වශයෙන් සෑම පලාතකම දියත් කරන බවත් විගණකාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.