වැට් නැති බඩුවලටත් බදු ගහන වෙළෙන්දන් - ජනපති

'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ' Image copyright Maithripala Sirisena
Image caption 'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ'

වැට් බදු සංශෝධනය යොදා ගනිමින් මහජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් අය කර ගන්නා ව්‍යාපාරික අංශ වලට විරුද්ධව පියවර ගැනීමට නිසි වැඩපිළිවලක් නොමැති වීම ආණ්ඩුවේ දුර්වලතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඒ යටතේ කරුණු තුනක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයට සහභාගී වෙමිනි.

'එක් කාරණයක් තමයි වැට් බද්දට අයත් නොවන භාණ්ඩ වැට් බදු සංශෝධනය පිට දාලා වැඩි මිලට විකුණන එක වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම'

'අනෙක් කාරණය, වැට් බද්දට අයත් භාණ්ඩ සඳහා ඊට ඇතුළත් කළ යුතු බද්දට වඩා වැඩි මුදලක් ඇතුළත් කොට ඉහළ මිලකට විකිණීම වැළැක්වීමට පියවර ගැනීම'

'තෙවනුව, මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පොදු ජනතාවට ඇති වී තිබෙන ආර්ථික අපහසුතා වැළැක්වීම සඳහා වැට් බදු ක්‍රමයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම'

ලබන සතියෙන් පසු ඉහත කී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර