ඩකා ප්‍රහාරය: 'ශ්‍රී ලාංකිකයන් සැඟවී දිවි බේරා ගෙන'

ඡායාරූප මූලාශ්‍රය, EPA
'මේ සිද්ධිය පිළිබඳ ඒ දෙදෙනාට ගොඩක් දේවල් මෑතක නැහැ. විස්තර කතා කළ හැකි මානසික තත්වයක නොවෙයි ඔවුන් ඉන්නේ'
ඩකා අගනුවර ආපන ශාලාවට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ප්‍රහාරකයන්ගෙන් සැඟවී දිවි බේරා ගත්තේ යයි එහි සිටි ශ්‍රී ලාංකික යුවල තමන්ට පැවසූ බව බංග්ලාදේශයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සේසත් තාඹුගල පවසයි.
ඔවුන් දෙදෙනාට කිසිදු ශාරීරික හානියක් සිදු වී නැතත් දැඩි මානසික කම්පනය හේතුවෙන් තවමත් අගනුවර හමුදා රෝහලක ප්‍රතිකාර ලබන බවත් වැඩබලන මහ කොමසාරිස්වරිය බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළාය.
"ඒ දෙන්නට ගොඩක් දේවල් මතක නැහැ. විස්තර කතා කළ හැකි මානසික තත්වයක නොවෙයි ඔවුන් ඉන්නේ. වෛද්‍යවරුත් උපදෙස් දී තිබෙන්නේ විවේක ගන්න කියලා," ඇය පැවසීය.
ප්‍රහාරයට මැදි වූ ශ්‍රී ලාංකික යුවල දීර්ඝ කාලයක සිට බංගලාදේශයේ වාසය කරන බවත් වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සේසත් තාඹුගල සඳහන් කළාය.
ලාංකිකයන්ගේ ආරක්ෂාව
ඉහළ යමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බංගලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බවත් ඇය කියා සිටියාය.
ඒ යටතේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කිරීම ආරම්භ කොට ඇති බවයි, බංග්ලාදේශයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.
බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට හසු වී මරුමුවට පත් විසි දෙනාම විදේශිකයන් බව එරට බලධාරීහු පවසති.
ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර තුවක්කුකරුවන් සහ පොලිසිය අතර හට ගත් වෙඩි තැබීමේදී පොලිස් භටයන් දෙදෙනකු ද මරුමුවට පත් විය.
ආරක්ෂක අංශ විසින් එහි සිටි ප්‍රහාරකයන් හය දෙනකු මරා දැමූ බවත් බලධාරීහු සඳහන් කරති.