වන සතුන් දඩයම: ඇමතිගෙන් ෆේස්බුක් වෙත තුති

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
සැකකරුවන් විසින් දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය
වන සත්ව දඩයමට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට දායකවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල ඇතුළු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වෙත සිය ස්තුතිය පුද කරන බව වන ජීවී කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ සමාජ ජාල තුළ පළ වූ මරා දමන ලද වන සතුන් දැක්වෙන ඡායාරූපවල පෙනී සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට වක් වෙමිනි.
පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හය දෙනකු තල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවත් වැරදිකරුවන්ට ප්‍රමාණවත් දඬුවම් ලැබෙනු ඇති දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා අවධාරණය කළේ, වන සත්ව දඩයම සහ ජාවාරම්වලට එරෙහිව පවතින නීති දැඩි කළ යුතු බවයි.
'නීති පරණයි'
වසර තිහක් පමණ පැරණි වන ජීවී පනත සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට නීති මඩුල්ලක් පත් කොට ඇති බවයි ඔහු පවසන්නේ.
මිනිසාට මෙන්ම සතුන් සහ ගහ කොලටත් ජීවත් වීමේ අයිතිය එක හා සමාන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Govlk.com
වන සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමට ශ්‍රී ලංකාවාසීන්ට ඓතිහාසික බැදීමක් ඇති බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ මහින්දාගමනය සිහිපත් කරමිනි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමට ශ්‍රී ලංකාව බැඳී සිටින අතරම එම අයිතිය සුරැකීමට ඉන් ඔබ්බට ගිය ඓතිහාසික බැදීමක් මෙරට ජනතාව සතු බව අමාත්‍යවරයා කියා සිටියේ මහින්දාගමනය සිහිපත් කරමිනි.
"මිහිඳු මහ රහතන් වහන්සේ ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ ලංකාවට වැඩි අවස්ථාවේ දේවානම් පියතිස්ස රජුට දේශනා කළ වදන මතක තබා ගන්න," අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සිහිපත් කළේය.
'ඓතිහාසික වගකීමක්'
"මහ රජ ඔබ භූමියේ තාවකාලික භාරකරුවකු විනා අයිතිකරුවකු නොවේ. මේ ඔබට තිබෙන නිදහසේ අයිතිය සතා සිව්පාවට, මත්ස්‍යන්ටත් එලෙසෙම තිබෙනවා."
මේ වන විට වන ජීවී අපරාධ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ සඳහා පොලිසියේ සහාය ලබා ගන්නා බවත් ඒ තුළින් දඩයකට පමණක් සීමා නොවී වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දිය හැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ඉහත කී සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගනු ලැබ තිබෙන ගොවීන් විසින් භාවිතා කරන 'එයාර් ගන්' නමැති තුවක්කු විශේෂය තහනම් කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
බලපත්‍ර නොමැතිව ඉහත කී තුවක්කු මිළදී ගැනීමට හැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ඒ හේතුවෙන් සතුන් පමණක් නොව මිනිස් ජීවිතවලට පවා තර්ජන ඇති විය හැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය.
එවැනි තුවක්කු බහුලව තරුණ පරපුර අතට පත්වුවහොත් 'ඇමෙරිකාවේ සිදු වන ආකාරයේ' අපරාධ ශ්‍රී ලංකාවටත් පැතිරීමේ අවදානමක් පවතින බවයි වන ජීවී අමාත්‍යවරයා අනනතුරු අඟවන්නේ.