මඩකලපුව රෝහලට 'දෙමළ කතා නොකරන සේවකයන්'

ඡායාරූප මූලාශ්‍රය, instantstreetview.com
'සියයට අනූ නවයක් දෙමළ භාෂාව කථා කරන දිස්ත්‍රික්කයක ශික්ෂණ රෝහලකට දෙමළ භාෂාව කථා කරන සේවකයන් පත් කිරීම පරිපාලනමය යුතුකමක්'
මඩකලපුව ශික්ෂණ රෝහලේ සුළු සේවක පුරප්පාඩු පිරවීම සඳහා දෙමළ භාෂාව කතා නොකරන වෙනත් දිස්ත්‍රික්කවලට අයත් පුද්ගලයන් අනුයුක්ත කොට ඇති බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.
දෙමළ භාෂාව කතා කිරීමට නොහැකි පුද්ගලයන් යොදා පුරප්පාඩු පිරවීමෙන් අති බහුතරයක් වන දෙමළ භාෂාව කතා කරන රෝගීන් අපහසුතාවට පත් වන බවයි දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර් තුරෙයිරත්නම් පෙන්වා දෙන්නේ.
රෝගීන්ට සිදු විය හැකි අපහසුතාව සහ ප්‍රදේශයේ ජනතාව එම පුරප්පාඩු පිරවීම සඳහා යොදා ගැනීම යන කාරණා පිළිබඳ අවධානය යොමු කොට ඉහත කී ස්ථාන මාරු වීම් අවලංගු කරන ලෙස ඉල්ලා තමා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
'වසර තුනක් පුරා පැවති පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් තිහකට අධික පිරිසක් ස්ථාන මාරු වීම් ලබා ගෙන පැමිණ සිටිනවා. 76% දෙමළ සහ 23% මුස්ලිම් වශයෙන් 99% දෙමළ භාෂාව කථා කරන දිස්ත්‍රික්කයක ශික්ෂණ රෝහලකට දෙමළ භාෂාව කථා කරන සේවකයන් පත් කිරීම පරිපාලනමය යුතුකමක්.'
'ජාතිවාදී අදහසකින් නොවෙයි මම මේ අදහස් පළ කරන්නේ. යහපාලන ආණ්‌ඩුවට මෙහිදී යම් වැරදීමක් සිදු වී ඇත්දැයි යන සැකය මට මතු වෙනවා.' ඔහු පැවසීය.
ඉහත කී ස්ථාන මාරු වීම් ලබා දී ඇත්තේ වෙනත් දිස්ත්‍රික්ක තුළ පුරප්පාඩු ඇති කොට එම ප්‍රදේශවල ජනතාවට අලුතින් රැකියා ලබා දීම සඳහා දැයි තමා සැක කරන බවත් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර් තුරෙයිරත්නම් වැඩිදුරටත් කියා සිටියේය.
එම චෝදනා සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍යය කටයුතු පිළිබඳ අමාත්‍ය රාජිත සෙනවිරත්න සම්බන්ධ කර ගැනීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ.