මහ බැංකු අධිපති කුමාරස්වාමි වැඩ භාර ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කෙරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් සිය පත් වීමේ ලිපිය භාර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස නම් කරනු ලැබ සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් සිය පත් වීමේ ලිපිය භාර ගත්තේය.

ජනාධිපති නිල නිවසේදී පත් වීමේ ලිපිය ඔහු වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය පසුගිය ජුනි 30 වනදායින් අවසන් විය.

මතභේදයට ලක් වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවට වෙනත් පුද්ගලයකු එම ධුරයට පත් කරන ලෙස සිවිල් සංවිධාන සහ ඇතැම් දේශපාලනඥයන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධාරියකු වන ආචාර්ය කුමාරස්වාමී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මුදල් හා සැලසුම් කටයුතු භාර අමාත්‍යංශය ආදී ආයතන රාශියක සේවය කළ පළපුරුදු ආර්ථික විද්‍යාඥයකු වෙයි.

එසේම ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු භාර අධ්‍යක්ෂ පදවියෙහි ද කටයුතු කර ඇත.