පෞද්ගලික වෛද්‍ය ශිෂ්‍ය පෙත්සම කල් තැබේ

සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ
Image caption සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවති විරෝධතාව

සිය උපාධිය සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලීම අගෝස්තු 02 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

අදාළ පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දක්වන බව අධිකරණය හමුවේ දැනුම් දුන්හ.

පෙත්සම යළි කැඳවන අවස්ථාවේ එම විරෝධතා සලකා බැලීම සිදු කරන බවයි අධිකරණය කියා සිටියේ.

'විරෝධය'

මේ අතර මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන් වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කළේය.

"ස්යිටම් වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධියක් පිරිනැමීමට තරම් ප්‍රමාණවත් සුදුසුකම් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා. එවැනි වාතාවරණයක් මත අධිකරණය කුමන ආකාරයේ තීන්දුවක් ලබා දුන්නත් අදාළ සිසුන් ලියාපදිංචි කිරීමට අපට හැකියාවක් නැහැ." මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියේ අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ පෙත්සම් විභාග වෙමින් පැවති අවස්ථාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ඇතුළු වෛද්‍යවරු පිරිසක් සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

බීබීසී යෙන්