ජාවාරමක් වැටලීමට ගිය වනජීවී නිලධාරියා මරුට

ජාවාරමක් වැටලීමට ගිය වනජීවී නිලධාරියා මරුට

වැටලීමක් අතරතුර සැකකරුවකු සමග පොර බැදූ වනජීවී නිලධාරියකු රාජකාරි ගිනි අවිය පත්තු වීමෙන් මරුමුවට පත් වී තිබේ.

හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ කැලෑ හෙළි කිරීම නිසා සිදු වන පරිසර හානිය හේතුවෙන් වාසස්ථාන අහිමි වූ වන සතුන් ජලය බීමට පැමිණෙන වැව් ආශ්‍රිත වතුර වළවල් තුළට වස මිශ්‍ර කොට සතුන් මරා දැමීමේ ජාවාරමක් පිළිබඳ වනජීවී නිලධාරීන් වෙත තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව අද (05) අලුයම 5.30 පමණ වැටලීමකට ගිය හම්බන්තොට වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අඩවි සහකාර නිලධාරි වූ ජගත් සෙනෙවිරත්න සහ තවත් නිලධාරීන් පස් දෙනකුට වස මිශ්‍ර ජලය පානය කිරීමෙන් මිය ගිය බවට සැක කළ හැකි මුවෙකුගේ මළ සිරුරක් දැක ගැනීමට හැකි වී තිබේ.

පසුව වනජීවී නිලධාරීන් කණ්ඩායම දඩයක්කරුවන් එන තෙක් එහි සැඟවී සිට ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මිය ගොස් සිටි මුවා රැගෙන යාමට කටයුතු කොට ඇත.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරුවකු සමග ඇති වූ පොරබැදීමේදී අනතුර සිදු වී ඇත.

'පොරබැදීමක්'

Image caption හම්බන්තොට වරාය භූමියේ කාණුවක වැටී සිටි අලි පැටවා ගොඩ ගැනීමට උත්සාහ කරන වනජීවී අඩවි සහකාර නිලධාරි ජගත් සෙනෙවිරත්න

එක් සැකකරුවකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ වනජීවී නිලධාරියා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට වාර්තා කළේ.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හම්බන්තොට රෝහලේදී සිදු කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා හම්බන්තොට මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

මිය ගිය වනජීවී නිලධාරී ජගත් සෙනෙවිරත්න වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පදිංචි දෙදෙරු පියෙකි.

පසුගියදා හම්බන්තොට වරාය භූමියේ කාණුවක වැටී සිටි අලි පැටවා ඉන් ගොඩ ගැනීම සඳහා වෙහෙසුණු වනජීවී නිලධාරීන් අතර වනජීවී අඩවි සහකාර නිලධාරි ජගත් සෙනෙවිරත්න ද සිටි බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර