පොලිසිය වෙනස් විය යුතුයි - පොලිස්පති

''පොලිස් පද්ධතිය වෙනස් වෙන්න ඕන මහජන අවශ්‍යතාවට අනුව. ඒ නිලධාරීන් හැදෙන්න ඕන, වෙනස් වෙන්න ඕන, ව්‍යුහය වෙනස් වෙන්න ඕන.'' Image copyright Pujith Jayasundara
Image caption ''පොලිස් පද්ධතිය වෙනස් වෙන්න ඕන මහජන අවශ්‍යතාවට අනුව. ඒ නිලධාරීන් හැදෙන්න ඕන, වෙනස් වෙන්න ඕන, ව්‍යුහය වෙනස් වෙන්න ඕන.''

මහජන අවශ්‍යතාවලට අනුකූලව සමස්ත පොලිස් පද්ධතියම වෙනස් විය යුතු බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

පොලිස්පතිවරයා ඒ බව කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තලයට උසස් කිරීමට අදාළ පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහජන මිත්‍රශීලී, ගෞරවනීය හා වෘත්තීය මට්ටමේ පොලිසියක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමට ලැබී ඇති අවස්ථාව මග හැරුණ හොත් ඉදිරියේදී එවන් අවස්ථාවක් ලැබෙනු ඇතැයි යන්න සැක සහිත බවත් පොලිස්පති පුජිත් ජයසුන්දර සඳහන් කළේය.

''අවබෝධාත්මක රාජ්‍ය තන්ත්‍රයක්, පැහැදිලි අවබෝධාත්මක විධායක සහ ව්‍යවස්ථාදායක පාලනයක් ලැබුණු අවස්ථාවේදී අපිට අපගේ වගකීම ඉටු කර ගන්න බැරි වුනොත් කවදාවත් අපිට මෙවැනි අවස්ථාවක් එයි කියලා හිතන්න අමාරුයි, එයි ඒත් අමාරුයි.'' ඔහු පැවසීය.

මහජන අවශ්‍යතාවලට අනුකූලව සමස්ත පොලිස් පද්ධතියම වෙනස් විය බව සඳහන් කළ පොලිස්පතිවරයා පුද්ගලික න්‍යාය පත්‍ර ඉවත් කර ඉදිරියට යාමට පොදු වැඩසටහනක් සකස් කරමින් සිටින බවයි කියා සිටියේ.

'දුර්වලතා සහ අඩුපාඩු'

''පොලිස් පද්ධතිය වෙනස් වෙන්න ඕන මහජන අවශ්‍යතාවට අනුව. ඒ නිලධාරීන් හැදෙන්න ඕන, වෙනස් වෙන්න ඕන, ව්‍යුහය වෙනස් වෙන්න ඕන.''

පොලිසියේ දුර්වලතා හා අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බව ප්‍රකාශ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර විශේෂ පොලිස් කාර්ය බලකායේ ප්‍රධානියා මාධ්‍ය සම්බන්ධයෙන් පසුගියදා කළ බවට චෝදනා එල්ල වූ තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳවත් අදහස් පළ කළේය.

ඵලදායි විවේචන ඉදිරිපත් කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි පොලිස්පතිවරයා නමුත් මහජනයාට රාජ්‍ය තන්ත්‍රයට වැදගත් නොවන පුවත් පළ කිරීමෙන් කිසිවකුට සෙතක් නොවන බවයි පෙන්වා දුන්නේ.

පොලිසිය සහ මාධ්‍ය

''ලියන දෙයකින්, දාන දෙයකින් කිසිම සෙතක් වෙන්නේ නැහැ මනජනතාවට. හිනාවක් යන එක සහ තවත් පුවතකින් පහුවදාට ඒක මැකෙන එකයි වෙන්නේ, ඒ නිසා ඵලදායි සුභවාදී විවේචන කරන්න, මාධ්‍ය ඒක කරනවා.''

උත්සවය අතරතුර පොලිස්පතිවරයා පොලිසියේ පහළ නිලධාරීන්ගේ උසස් වීම් ගැටලුව පිළිබඳවත් අදහස් පළ කළේය.

''ඉහල නිලධාරීන්ගේ වගේම පහළ නිලධාරීන්ගේ උසස් වීම් ලබා දෙන්නත් අපි කටයුතු කර යනවා.''

පොලිසියේ පහළ නිලධාරීන්ගේ උසස් වීම් තරගකාරී අයුරින් දක්ෂතාවලට අනුකූලව ඉදිරියේදී ලබා දෙන බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර