සත්‍ය කොමිසම සැප්තැම්බරයේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සත්‍යය කොමිසම සැප්තැම්බරයේ - මංගල

ජනතා අදහස් විමසා සැප්තැම්බර් මාසය වන විට සත්‍යය සෙවීමේ කොමිසම පිහිටවන බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පසුගියදා නිමා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් දෙවන සැසි වාරයට සහභාගි වීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

'සත්‍යය සෙවීමේ කොමිසමක් ඇති කරනවා, නමුත් ඒ ඇති කරන්නේ ජනතාවගේ අදහස් දැන ගෙන. දෙමළ ජනතාව, යුද්ධය කරපු හමුදාව, හමුදා පවුල්, දකුණේ ජනතාව මේ සියලු දෙනාගේ අදහස් දැන ගෙන සත්‍ය සෙවීමේ ආයතනය සැප්තැම්බර් වන විට පිහිටවනවා.'

යම් වරදක් වී ඇති බව සනාථ වුවහොත් වරදකරුවන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා ආයතන පිහිටුවීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා සඳහන් කළේය.

රටේ කීර්ති නාමයට හානි වන ආකාරයට කිසිවකු කටයුතු කොට ඇත්නම් සෙසු අයගේ කීර්ති නාමය ආරක්ෂා කරනු වස් වරදකරුවන්ට දඬුවම් කිරීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත් අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙයි.

'1971 මනම්පේරි රූප රැජිනි දූෂණය කළ වෙලාවේ, එවකට පැවති ආණ්ඩුව දූෂකයන්ට දඬුවම් කළා. අනූ ගණන්වල අවුරුදු දාහතරක පහළොවක ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය දූෂණය කරපු අයට දඬුවම් කිරීම තුළින් ලංකාවේ ආණ්ඩුවේ කීර්තිනාමය අපි දිගටම රැක ගෙන ආවා'

'මොකද අපේ හමුදාව කියන්නේ ඉතාමත් විනයානුකූල හමුදාවක්'

කවරකු විසින් හෝ යම් කිසි චෝදනාවක් එල්ල කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සත්‍ය ලෝකයට පේනවා දිය යුතු බව අමාත්‍ය මංගල සමරවීර එහිදී කියා සිටියේ මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.