'අපි කාගේත් පැතුම සාධාරණත්වය සහ යුක්තිය මත පදනම් වූ තිරසාර සාමයක්'

'අපේ පැතුම යුක්තිය මත පදනම් වූ තිරසාර සාමයක්'

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Watch

දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සාධාරණත්වය, යුක්තිය මත පදනම් වූ තිරසාර සාමයක් ගොඩනැංවීම 'අපි කාගේත් පැතුම' බව සංහිඳියාව සඳහා කාර්ය සාධක බලකායේ සභාපතිනිය පවසයි.

ඒ සඳහා යන ගමනේ අත්‍යවශ්‍ය කොටසක් වශයෙන් ජනතාවගේ අත්දැකීම් මත පදනම් වී සංහිඳියා ක්‍රියාමාර්ගයක් නිර්දේශ කිරීම සිය බලකායේ කාර්යභාරය බවත් නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළාය.

"ඒගොල්ලන්ට පෙනෙන, දැනෙන තුවාල මොනවාද, විසඳ ගන්න බැරිවෙච්ච ප්‍රශ්න මොනවාද?, අන්න එතනින් තමයි අපි පටන් ගන්නේ."

ප්‍රධාන කොන්දේසි දෙකක් මත, සිවිල් සමාජය නියෝජනය කරන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් එකොලොස් දෙනාම ඒ සඳහා එකඟවූ බවත් නීතිවේදිනී මනෝරි මුත්තෙටුවේගම සඳහන් කළාය.

'තර්ජන'

"එකක් තමයි අපි රට වටා ගිහිල්ල, ජනතාවගේ අදහස් විමසලා සකස් කරන වාර්තාව ජනතාවට ලැබෙන්න සලස්වන්න ඕනේ," ඇය සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"කෙලින්ම, ප්‍රමාදයක් නැතිව. එහෙම නොකෙරුනොත් අපි විසින් ඒක කරනවා."

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වන අතර, ගාමිණී වියන්ගොඩ, විසාකා ධර්මදාස, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ආචාර්ය ෆර්සානා හනීෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ, මිරාක් රහීම්, නීතිඥ කේඩබ් ජනරංජන එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Consultation Task Force

ඡායාරූප ශීර්ෂ වැකිය,

මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය කාර්ය සාධක බලකාය ඉදිරියේ අදහස් දක්වමින්

කාර්ය සාධක බලකාය ඉදිරියේ සාක්ෂි දෙන පුද්ගලයන්ට සහ එම සමස්ත ක්‍රියාදාමයට සහභාගී වන පිරිස තර්ජන හෝ හිංසනවලින් ආරක්ෂාව සැලසිය යුතුය යන්න ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කළ දෙවැනි කොන්දේසියයි.

ජනතා අදහස්

"ඒ කියන්නේ ආරක්ෂක අංශයෙන් හෝ හිටපු පැරා මිලිටරි කාන්ඩේ අතින් හෝ මේ අයට කිසිම තර්ජනයක් හෝ බලපෑමක් විය නොයුතුයි කියන එක."

කාර්ය සාධක බලකාය ජනතා අදහස් විමසමින් සිටින අතරවාරයේ, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලයක් (OMP) පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කිරීම පරස්පර තත්වයක් නොවන බවයි සභාපතිනිය පවසන්නේ.

සිවිල් සමාජය සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් එය සංශෝධනය කරන බව අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ කෙටුම්පතේ සඳහන් වන බව පෙන්වා දෙන මනෝරි මුත්තෙට්ටුවේගම, එමෙන්ම අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්තාව තිබෙන බව වැඩිදුරටත් පැවසීය.

ctf.srilanka@gmail.com නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ, ''ලේකම්, සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය, සංහිඳියා යාන්ත‍්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01'' යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ජනතාවට සිය අදහස් ලියා දැන්විය හැකි බවත් කාර්ය සාධක බලකාය සඳහන් කරයි.