'ඉරාක් ආක්‍රමණයට ගියේ වැරදි තොරතුරු මත'

Image caption ටෝනි බ්ලෙයාර් චිල්කොට් කොමිසම ඉදිරියේ

ඉරාක් යුද්ධයට බ්‍රිතාන්‍යය සම්බන්ධ කිරීමේ සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බව හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසයි.

හිටපු අගමැතිවරයා එම ප්‍රකාශය කළේ 2003 වසරේ ඇමෙරිකාවේ මෙහෙයවීමෙන් බ්‍රිතාන්‍යය ඉරාක් යුද්ධයට හවුල් වීම මගින් ඇති කරන ලද ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරෙන චිල්කොට් වාර්තාව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමිනි.

වසර හතක දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කමිටුවේ සභාපති ශ්‍රීමත් ජෝන් චිල්කොට් අද (06) සිය නිගමන ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව ප්‍රකාශයට පත් කළේය.

එම වාර්තාව එලි දක්වමින් අදහස් දැක්වූ ශ්‍රීමත් ජෝන් චිල්කොට් කියා සිටියේ 'බුද්ධි අංශ මගින් සිදු කරන ලද වැරදි තොරතුරු මත පදනම්ව සිදු කළ තක්සේරු කිරීම් අනුව බ්‍රිතාන්‍ය පාලනය ඉරාකය සම්බන්ධ යුද පිළිවෙත තීන්දු කර ඇති බව දැන් පැහැදිලි බවයි.

Image caption ඉරාකය ආක්‍රමණයට තීන්දු කරමින්

චිල්කොට් වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් 'ඇති වූ තත්වය සම්බන්ධයෙන් තමා කනගාටු වෙන බවත් ඒ පිළිබඳව සමාව අයදින බවත්' කියා සිටියේය.

'බුද්ධි අංශවල තක්සේරු කිරීම් වැරදි අතට හැරුණා. ප්‍රතිවිපාකය අපි හිතුවාට වැඩිය දරුණු වුනා. ඒත් නිදහසට කරුණු කීමෙන් හෝ මග හැර යාමෙන් තොරව ඉරාක් ප්‍රහාරයේ වගකීම සහමුලින්ම මම භාර ගන්නවා. මම විශ්වාස කරනවා- සදාම් හුසේන් ඉවත් කරනු ලැබීම වඩාත් යහපත් වූ බව. මැදපෙරදිග හෝ ලෝකයේ වෙනත් තැනක අද අපි අත්විඳින ත්‍රස්තවාදයට හේතුව ඉරාක් ආක්‍රමණය යයි මම පිළිගන්නේ නැහැ.' හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඉරාක් යුද්ධයේ දී බ්‍රිතාන්‍ය භටයන් 179 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 3600 කට අධික භටයන් තුවාල ලද බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ.

එම භටයන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් වැඩි දෙනා සිය පවුල් වලට අත් වූ අලාභය සම්බන්ධයෙන් හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට චෝදනා කරති.

ඉරාකය ආක්‍රමණය කිරීමේ තීන්දුව වසර පනහක පමණ කාලයක් ඇතුළත බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ගන්නා ලද වැඩිම මතභේදාත්මක තීන්දු වලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

Image caption ඉරාක් ආක්‍රමණයට එරෙහි මහජන හඬ

වචන විසි ලක්ෂයකට අධික චිල්කොට් වාර්තාව ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව එම වාර්තාව සාකච්ඡාවට ගත් අතර අගමැති ඩේවිඩ් කැමරන් අදහස් දක්වමින් කියා සිටියේ ඉරාක් යුද්ධයට යාම මගින් එක්සත් රාජධානිය පාඩම් ඉගෙන ගත යුතු බවයි.

'විදේශ රටකට මැදිහත් වීමේ අයිතිය පාවිච්චි කළ යුතු අවස්ථා ඇති' බවයි අගමැති කැමරන් සඳහන් කළේ.

විපක්ෂ නායක ජෙරමි කෝබින් අදහස් දක්වමින් ඉරාක් ආක්‍රමණය විග්‍රහ කළේ 'ඛේදවාචකයක්' හැටියටයි.

'ඉරාකය ආක්‍රමණය කරනු ලැබීම දේශපාලනයේ විශ්වාසය කඩා වැටීමක්. එසේම එය ව්‍යාජ හේතුවක් පෙරට දමා සිදු කරන ලද ආක්‍රමණයක් වූ බව චිල්කොට් වාර්තාව මගින් පෙන්නුම් කෙරෙනවා' ලේබර් පක්ෂ නායකයා පෙන්වා දෙයි.

ඉරාකය ආක්‍රමණය කිරීමේ දී ඊට හේතුව වශයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළේ සදාම් හුසේන් පාලනය සතු ජන සංහාරක අවි තුරන් කිරීමේ උවමනාවයි.

එහෙත් එම අදහස් දැඩිව ඉදිරිපත් කෙරුණත් ඒ සම්බන්ධයෙන් මනා පූර්ව විපරම් කිරීමක් සිදු නොවූ බවයි ශ්‍රීමත් ජෝන් චිල්කොට් පවසන්නේ.

Image caption චිල්කොට් වාර්තාව තුළින් සිය දරුවන් වෙනුවෙන් යුක්තිය පතන සොල්දාදු පවුල්වල සාමාජිකයන්

ඉරාක් යුද්ධයෙන් මියගිය බ්‍රිතාන්‍යය සොල්දාදුවන්ගේ පවුල් වල සාමාජිකයන් ද චිල්කොට් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ඇති අතර ඔවුන් වැඩි දෙනා ඇඟිල්ල දිගු කරන්නේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් වෙතයි.

මේ අතර ඉරාක් යුද්ධයේ දී සිය මුණුපුරා අහිමි වූ මුත්තනුවකු වන ඩේවිඩ් ගොප්‍රි කියා සිටියේ චිල්කොට් වාර්තාව ප්‍රමාණවත් දුර ගමන් කර නොමැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්