හම්බන්තොට වැට් බදු විරෝධයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැට් බදු විරෝධයෙන් හම්බන්තොට අඩාලයි

ආණ්ඩුව විසින් වැඩි කරන ලද වැට් බද්දට විරෝධය පළ කරමින් අද ජූලි 23වෙනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු වෙළද සැල් වසා දමා ජනතා විරෝධයක් පැවැත්වුණි.

විරෝධතාවට සහය පළ කරමින් අම්බලන්තොට බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන මහජන පොළ ද අද නොපැවැත්වෙන අතර මේ හේතුවෙන් දුර බැහැරින් පැමිණි තොග සහ සිල්ලර වෙළද මහතුන් අපහසුතාවයට පත්විය.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ විරෝධතාව පිළිබඳව නොදැන සිටි නිසා පැමිණි බවයි .

මිට අමතරව හම්බන්තොට, සුරියවැව, තිස්සමහාරාම, ලුණුගම් වෙහෙර, රන්න ,හුංගම, බෙලිඅත්ත, වීරකැටිය, මිද්දෙනිය, අඟුනුකොලපලැස්ස ඇතුළු නගර රාශියක අද දින වෙළද සැල් වසා දමා තිබුණි.

ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි වෙළද සංගමයේ සභාපති ධූරය දරන තංගල්ල නගරයේ වෙළද සැල් ද අද දින වසා තිබුණි.

කෙසේනමුත් විරෝධතාවට සහය පළ නොකරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙළද සැල් පහක් පමණ විවෘත කර තිබෙනු දක්නට ලැබුණි.

ඒ අතර එක්සත්ජාතික පක්ෂයේ දකුණු පලාත්සබා මන්ත්‍රී ටි .වී .කේ ගාමිණි මහතාට අයත් අම්බලන්තොට නගරයේ වෙළඳසැල ද විය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ කටයුත්තක් බැවින් පාරිභෝගිකයන් අපහසුතාවට ලක් කිරීමට තමා කටයුතු නොකරන බවයි .

කෙසේ නමුත් වැට් බද්දට විරෝධය පළ කරමින් තවත් විරෝධතා කීපයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර කීපයකදී පැවැත් වීමට නියමිතව තිබුණි.