මේක ඡායා කැබිනට්ටුවක් නොවෙයි -වාසු

මේක ඡායා කැබිනට්ටුවක් නොවෙයි -වාසු

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටවාගත් කැබිනට් මණ්ඩලය ඡායා කැබිනට් මණ්ඩලයක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මෙය එක් එක් ඇමතිවරුන්ගේ කටයුතු පිළිබඳව සොයා බැලීමට විෂයානුබද්ධව කාර්ය පැවරීමක් පමණක් බවයි ඔහු කියා සිටියේ.

'එක ඡායා කැබිනට්ටුවක් නෙමෙයි. ඡායා කැබිනට්ටුවක් කියන්නේ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නා එක් එක් ඇමතිවරයා වෙනුවෙන් සොයා බලන්නට ඇමතිවරයෙක් වැනි කෙනෙක් පත් කර ගැනීම. ඊළඟට බලයට එන්න ඉන්න අය බලයක් ගත්ත වෙලාවක ඒ අය තමයි කැබිනට් මණ්ඩලයේ ඒ ඒ තනතුරු බාර ගන්නේ. එංගලන්තයේ තියෙන සංකල්පය නෙමෙයි මේක.'

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. හඬ පටය අමුණා ඇත.

හිටපු ජනාධිපතිවරයා

'අපි තමයි පාර්ලිමේන්තුවේ විපක්ෂය. නොපිළිගත් විපක්ෂය. නොපිළිගැනීම අපේ නිල බලය අඩු කරන්නේ නැහැ. මහජනයා පත් කරපු මන්ත්‍රීවරු අපි නම් අපි තමයි විපක්ෂය. නොපිළිගත් බව වෙනම කාරණයක්, නොපිළිගැනීමයි මෙතන නීති විරෝධී.' වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය පත් කර ගත ඡායා කැබිනට්ටුවෙන් හිටපු ජනාධිපතිවරයා ඉවත් වීමට තීරණය කර ඇති බවට තමන්ට ආරංචි වී නැති බවයි හිටපු ඇමතිවරයා සඳහන් කළේ.