ශ්‍රී ලංකාව සහ චීනය නාවික සේද මාවතේ
ඉන්දීය සාගරයේ නෞකා කේන්ද්‍රයක් බවට පත් වීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංවර්ධන සැලසුම් හා එක්ව සිය රටේ 'නාවික සේද මාවත ව්‍යාපෘතිය' කටයුතු කරනු ඇතැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර හමු වූ අවස්ථාවේදී.
එමෙන්ම වෙනත් තුන්වෙනි රටක් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින පොදු එකඟතාවේ ඉලක්කය වී නොමැති අතරම එම එකඟත්වය දෙරට සෙසු රටවල් සමග පවත්වනු ලබන ගෞරවනීය සබඳතාවලට බලපෑමක් ඇති නොකරන බවත් චීන විදේශ ඇමතිවරයා අවධාරණය කරයි.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සෙනසුරාදා (09) අරගියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වූ අතර සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු විය.
පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට සුදුසු පරිසරය සලසා දීම සම්බන්ධයෙන් චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය පළ කළ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරියේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් චීන රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.