නාමල් රිමාන්ඩ් බන්ධනාගාරයට

Image caption නාමල් රාජපක්ෂ (පා.ම.)

කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවනු ලැබීමෙන් අනතුරුවයි.

ක්‍රිෂ් (Krrish Group ) නම් ඉන්දියානු සමාගමක් සමඟ රගර් ක්‍රීඩාවට අදාළව සිදු කර ඇතැයි චෝදනා කෙරෙන රුපියල් කෝටි හැත්තෑවක මුදලක් අවභාවිතා කිරීම මුල් කර ගනිමින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු කේ.එස්.උදයකුමාර් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව වාර්තාවේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා නම් කරන ලද ඡායා කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ විෂය පැවරුනේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටයි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබුණි.