ශ්‍රේෂ්ඨාධිකරණයත් වැට් බද්දට එරෙහිව

VAT විරෝධී මහජන උද්ඝෝෂණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය,

VAT විරෝධී මහජන උද්ඝෝෂණයක්

වැට් බද්ද සියයට පහළොව දක්වා ඉහල දැමීමට එරෙහිව ඉදිරිපත් කර තිබුණ පෙත්සමක් සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය එම බද්ද අත්හිටුවන මෙන් නියෝග කළේය.

ආණ්ඩුව වැට් බද්ද වැඩි කිරීමට ගත් තීන්දුවට එරෙහිව එම පෙත්සම ගොණු කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසිනි.

පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ එම විභාගය අවසන් වනතුරු වැඩි කර ඇති වැට් බද්ද ක්‍රියාවට නැංවීමෙන් වළකින ලෙසයි.

සියයට එකොළහේ පැවති වැට් බද්ද පසුගිය මැයි දෙ වැනිදා සිට සියයට පහළොව දක්වා ඉහල දැමීමට ආණ්ඩුව පියවර ගත් අතර ඊට එරෙහිව රටේ බොහෝ පලාත්වල විරෝධතා ව්‍යාපාර දියත් විය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව වැට් බදු ප්‍රතිශතය ඉහල නැංවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ගැට‍ළු සහගත බව අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මින් පෙරත් ප්‍රකාශ කර තිබුණි.

වත්මන් ආණ්ඩුව වැට් බද්ද වැඩි කිරීමට තීන්දු කළේ ආණ්ඩුවට ගෙවීමට සිදු වී ඇති අති විශාල ණය හේතුවෙන් බවයි ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා බීබීසී සංදේශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී සඳහන් කළේ.