ශ්‍රී ලංකාවේ දොස්තර හිඟයක්

Image copyright PA
Image caption මිනිසුන් 1350කට එක් වෛද්‍යවරයෙක්

ශ්‍රී ලංකාවට වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක පමණ හිඟයක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිගනී.

දැනට ශ්‍රී ලංකාවේ මිනිසුන් 1350කට එක් වෛද්‍යවරයෙකු සිටින අතර සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පුළුල් වීම නිසා මෙම හිඟය ඇති වී තිබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ.

'අපි නව ඒකක ආරම්භ කරනවා නව තාක්ෂණයත් එක්ක. මව් සඳහා අපට වෛද්‍යවරුන් අවශ්‍ය වෙනවා. දැනට වෛද්‍යවරු දාහත්දාහක් පමණ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පමණක් වැඩ කරනවා. රට සංවර්ධනය වීමත් සමඟ වෛද්‍යවරුන් වැඩිපුර අවශ්‍ය වෙනවා.' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසීය.

'ලංකාව ඉදිරියෙන්'

කෙසේ වෙතත් ඉදිරි දෙවසර ඇතුළත සිදු කෙරෙන නව පත්වීම් මත මෙම වෛද්‍ය හිඟය පියවා ගත හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු පළ කළේය.

'වාර්ෂිකව වෛද්‍යවරු 1200ක් පමණ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පිට වෙනවා. වෙනත් රටවලට ගොස් වෛද්‍ය විද්‍යාව හදාරලා එන අය වාර්ෂිකව 300ක් 350ක් පමණ ඉන්නවා. ඒ අය බඳවා ගන්න කොට තවත් නව ඒකක ඇති කරනවා. එතකොට තවත් වෛද්‍යවරු අවශ්‍යයි. මේක එක බඳවා ගැනීමකින් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි, සංවර්ධනයේදී ඉදිරියට යනකොට ඇති වෙන දෙයක්.' වෛද්‍ය මහීපාල ප්‍රකාශ කළේය.

කලාපීය වශයෙන් ගත් කළ අසල්වැසි වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හත්සිය පනස් දෙනෙකුට එක් හෙද නිලධාරියෙකු බැගින් සිටින බව ද ඔහු සනාථ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර