කල්පිටිය බාධක කොරල් පරය විනාශයේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කල්පිටිය බාධක කොරල් පරය විනාශයේ

කල්පිටිය බාධක කොරල් පරය මේ වන විට සියයට අනූවක් විනාශ වී ඇති බව කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය පවසයි.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බවයි කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති මදුරාජ් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

ඔහු පැවසුවේ පසුගිය කාලය තුල සිදුවූ ස්භාවික සිදුවීම් ද කල්පිටිය කොරල් පරය විනාශ වීමට හේතු වන්නට ඇති බවයි.

මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා මේ ප්‍රදේශයේ සංචාරය කළ අතර එහිදී ප්‍රාදේශීය වාර්තා කරු ප්‍රසාද් පුර්ණමල් ජයමාන්න ට කොරල් විනාශ වී ඇති අයුරු දැක ගන්නට ලැබී ඇත.

කොරල් වලින් වැඩි ප්‍රමාණයක් සුදු පැහැ ගැන්ව තිබු අතර තවත් විශාල ප්‍රමාණයක් කුඩා කැබලි වලට කැඩී ගොස් තිබු බවයි ඔහු පවසන්නේ.

ප්‍රසාද් ඇතුළු මාධ්‍යවේදීන් එහි සිටින අවස්ථාවේදීත් කොරල් නැරඹීමට පැමිණි පිරිස් කොරල් මත සිටගෙන බෝට්ටු තල්ලු කරන අයුරු දැක ගන්නට ලැබී තිබුණි.

මේ එක් ධිවර යාත්‍රාවක වරකට ගමන් කල හැක්කේ සංචාරකයන් හය දෙනෙක් පමණක් වුවද එම නීතිය ක්‍රියාත්මක වන බවක් නොපෙනුණි.

මේ පිලිබඳව වගකිවයුත්තන් දැනුවත් කළ ද මෙතෙක් පළක් නොවූ බවයි සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති මදුරාජ් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

වයඹ පළාත් ධිවර අමාත්‍යවරයාගෙන් සංදේශය කල විමසීමේදී කියා සිටියේ කල්පිටිය කොරල් විනාශය පිළිබඳ තමා දැනුවත් සිටින අතර ඊට අදාල ජයාරූප තම වෙත ලැබී ඇති බවයි.

මේ පිලිබඳව අදාල නිලධාරීන් දැනුවත් කළ බවයි වයඹ පළාත් ධිවර ඇමති සුමල් තිසේර වැඩිදුරටත් ප්‍රකාශ කළේ .