නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ද?

නාමල් අත්අඩංගුවට ගැනීම 'දේශපාලන පළිගැනීමක් නොවෙයි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

නාමල් අත්අඩංගුවට ගැනීම 'දේශපාලන පළිගැනීමක් නොවෙයි'

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු දේශපාලන අවශ්‍යතාවක් නොමැති බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඔහු අත්අඩංගුවට ගනු ලැබීම හඳුන්වනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් ලෙසයි.

2015 වසරේ ජනවාරි 08 වනදායින් පසු විවිධ පාර්ශව විසින් තම සංවිධානය වෙත පැමිණිලි ලබා දුන් බවත් ඒ අතර තිබූ ශක්තිමත් සාක්ෂි අඩංගු පැමිණිලි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට භාර දුන් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේය.

'ඒ පැමිණිලි ගැන තමයි FCID ය හරහා විමර්ශන සිදු කළේ' ඔහු පැවසීය.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Samarasinghe

ඡායාරූප ශීර්ෂ වැකිය,

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ

රාජ්‍ය බලය යොදා ගනිමින් මහජන දේපළ අවභාවිත කිරීම සහ මුදල් විශුද්දීකරණය යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අදාළ චෝදනා ගොනු කළ බවයි වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ඒ බව කල් තියා මාධ්‍යයට ප්‍රකාශ කළ බවටත් දේශපාලන අවශ්‍යතාවක් මත අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව ඒ හරහා පෙන්නුම් කෙරෙන බවටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

ඒ පිළිබඳ සංදේශය දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැන්නක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවයි.