පේසරෝ සිනමා උළෙලේ දී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංක්‍රමණිකයාගේ කතාව සිනමාවට නැගූ ලාංකික සංක්‍රමණිකයා

'මගේ දෙමව්පියෝ ඉතාලියට ආවේ බෝඩර් පැනල. සෑහෙන කලක් යන තුරු ආරංචියක් නැති නිසා මම හිතුවේ අම්ම තාත්ත අතරමග මැරිලා කියල. එතකොට මට අවුරුදු දහයයි. කාලෙකට පස්සේ මාව ඉතාලියට ගෙන්වා ගත්ත. මිනිස්සු රට අතහැරලා යන්නේ මුදල් නිසාම නෙමෙයි. එතන විශාල ආදරයක් තියෙනවා. දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න තියෙන මහා ආදරය.'

මේ සුරංග ගේ කතාව ඔහුගේම වදනින්. උපන් රට අතහැර යුරෝපයට එන සංක්‍රමණිකයා ගේ ජීවිතයේ යථාර්ථය ලොවට කියා පෑමට ඔහු තෝරා ගත්තේ සිනමාව.

Image copyright For A Son
Image caption යුරෝපය කියන්නේ දිව්‍ය ලෝකයක් නොවෙයි. ඒ යථාර්ථය තමයි මට කියන්න ඕන වුණේ -සුරංග කටුගම්පල

ඉතාලියේ දිවි ගෙවන සුරංග කටුගම්පල සිත්තම් කළ 'For A Son' (පුතෙකුට) චිත්‍රපටය පේසරෝ ජාත්‍යන්තර සිනමා උළෙලට තෝරා ගැනුනා. මෙහි දී ඉතාලිය නියෝජනය කළ චිත්‍රපටය ශ්‍රී ලාංකිකයෙකු ගේ වීම විශේෂත්වයක්.

පේසරෝ ජාත්‍යන්තර සිනමා උළෙලට රටවල් ගණනාවකින් ඉදිරිපත් වුනු චිත්‍රපට දෙසිය ගණනකින් අවසන් චිත්‍රපට අට අතර පැමිණීමත් එහිදී විශේෂ ඇගයීමට ලක් වන චිත්‍රපට දෙක අතරට තේරී පත්වීමත් ලාංකිකයෙකු හැටියට තමන්ට ආඩම්බරයක් බවයි සුරංග පවසන්නේ.

Image copyright For A Son
Image caption සම්මාන ලාභී රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දුගේ දායකත්වය

'යුරෝපය කියන්නේ දිව්‍ය ලෝකයක් නොවෙයි. ඒ යථාර්ථය තමයි මට කියන්න ඕන වුණේ. යුරෝපීයන්ගෙන් වන ගැහැට ඔවුන් ඉදිරියේම මම තිරයේ දිග හරින කොට යුරෝපීය ජාතිකයන් නැගිටලා මට අත්පුඩි ගැහුවා. සමහරුන් තිත්ත යථාර්ථයක් කියා විවේචනය කළා' සුරංග බීබීසීය සමඟ සතුට බෙදා ගත්තේ සිනමා උළෙල නිම කර ගෙදර යන ගමන්.

'For A Son' තමන්ගේම කතාව නොවුනත් තමා සමඟ සිටින බොහෝ දෙනාගේ කතාව බවයි සුරංග කියන්නේ.

-අරවින්ද තිසර රතුවිතාන.