මුසම්මිල්ට ඇප නැහැ

මොහමඩ් මුසම්මිල් අධිකරණය ඉදිරියේ
ඡායාරූප ශීර්ෂ වැකිය,

රුපියල් ලක්ෂ 62 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙසින් පරිහරණය කළ බවට මොහමඩ් මුසම්මිල් චෝදනා ලබා සිටියි

පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් භාරයට ගෙන සිටි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ මොහොමඩ් මුසම්මිල් වෙත ඇප ලබා දීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

එම තීන්දුවට එරෙහිව මහාධිකරණය වෙත ඇප අයැදුමක් ඉදිරිපත් කරන බව විත්ති පාර්ශවයේ නීතිවේදියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

"මේක අපි බලාපොරොත්තු වූ තීන්දුවක්. ඊට එරෙහිව අපි මහාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා." නීතිඥ උදය ගම්මන්පිල කියා සිටියේය.

විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ සැකකරු පදනම් විරහිත ආකාරයට අත් අඩංගුවට ගෙන ඇති නිසාත් ඔහුගේ දරුවෙකු සමේ රෝගයකින් පෙලෙන නිසාත් ඒවා සුවිශේෂ කරුණු සේ සලකා ඇප නියම කරන ලෙසයි.

එහෙත් ඒවා සුවිශේෂ කරුණු සැලකිය නොහැකි බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය ඒ අනුව ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේ.

අනතුරුව සැකකාර මොහොමඩ් මුසම්මිල් ජුලි 27 වනදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අවධියේ එම තනතුර සඳහා නිල වාහනයක් ලබා දී තිබියදී කුලී පදනම මත වාහනයක් ලබාගත් බව පවසා එම සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 60 කට අධික මුදලක් ලබා ගෙන සිය බිරිඳගේ ගිණුමේ තැන්පත් කළ බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ මොහොමඩ් මුසම්මිල්ට එරෙහිව චෝදනා එල්ල වේ.