කතරගම වන්දනාකරුවන්ට වස දඩමස්

වස මුසු කළ දිය කඩිත්තක්
ඡායාරූප ශීර්ෂ වැකිය,

වස මුසු කළ දිය කඩිත්තක්

හම්බන්තොට වනරක්ෂිත සහ මහවැලි වනාන්තර තුළ දඩයක්කරුවන් විසින් දියකඩිති හා වැව් ආශ්‍රිතව වලවල් හාරා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කිරීමේ අපරාධයක් හසු කර ගත් බව හම්බන්තොට වනජීවී නිලධාරීහු පවසති.

වස දී මරා දමන සතුන්ගේ මස් විවිධ ප්‍රදේශ වල අලෙවි කරන බවයි සොයා ගනු ලැබ තිබෙන්නේ.

දියට වස දමා සතුන් මැරීමට උගුල් අටවමින් සිටි පුද්ගලයන් දෙදෙනකු හම්බන්තොට ගොන්නොරුව හතරේ කණුව ප්‍රදේශයේ මහවැලි වනාන්තර කොටසක දී අද (14) අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වූ බව මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

වස මුසු දිය පානය කළ වඳුරකුගේ ඉරණම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින දැඩි නියඟය සහ කැලෑ හෙළි කිරීම නිසා අවතැන් වූ සතුන් බීමට දිය සොයා අවට සැරිසරන අතර දිය වලවල් හාරා ඒවාට වස මුසු කොට සතුන් මරා මස් පිණිස විකිණීමට දඩයක්කරුවන් කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

හම්බන්තොට ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට හා වන්දනාකරුවන් ඉලක්ක කර ගනිමින් එම ජාවාරම සිදු කරන බවත් ඔවුහු පවසති.

දඩයක්කරුවන් විසින් වස යොදා මරණ ලද සතුන්ගේ මස් දඩමස් යයි පවසමින් ඒවා මෙම ඇසළ මාසයේ කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අලෙවි කිරීමට විවිධ ප්‍රදේශ වලට බෙදා හැර ඇති බවක් ද හෙළි වී ඇත.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දඩයක්කරුවන්ගේ අවි; වස සහ ආයුධ

සෑම වසරකම කතරගම ඇසළ උත්සවය පවතින කාලය තුළ මේ අයුරින් වස දමා සතුන් මැරීමේ ජාවාරම සිදු කෙරෙන අතර එම ජලය පානය කරන මුවන් ගවයන් වඳුරන් සහ කුරුල්ලන් පවා මරණයට පත් වෙන බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පෙන්වා දෙන්නේ.

දඩයක්කරුවන් පිරිසක් විසින් සිදු කරන එම අපරාධය හේතුවෙන් මුළු සමාජයම අනතුරට පත් වන බව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි සහකාර විජය කුමාර පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අඩවි සහකාර විජය කුමාර කියා සිටියේ වස මිශ්‍ර කරන ලද දිය බීමෙන් මරණයට පත් වෙන සත්ව මාංශ අනුභව කිරීමෙන් එම විෂ මිනිසුන්ගේ ද ශරීරගත වීමේ අනතුරක් ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තවදුරටත් වැටලීම් සිදු කරන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පිරික්සුම සඳහා දිය සාම්පලයක්

පසුගිය දා සිදු කෙරුණ එවැනි වැටලීමක දී දඩයක්කරුවකු සමග පොර බදමින් සිටියදී තම රාජකාරි ගිනි අවිය පත්තු වීමෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ජගත් සෙනෙවිරත්න මරණයට පත් විය.