දුම්කොළ බද්දෙන් වැට් බද්දට සහනයක්

Image caption සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න

දැනට 72% ක් වන පවතින දුම්කොළ බද්ද 90% දක්වා ඉහළ දැමීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සෞඛ්‍යය ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ, දුම්කොළ බද්ද 90% දක්වා ඉහළ දැමීමෙන් ලබා ගන්නා ආදායම අනුව ආණ්ඩුව පසුගිය දා තාවකාලිකව පනවන ලද වැට් බද්ද ඉවත් කළ හැකි වන බවයි.

දුම්කොළ බද්ද වැඩි කිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් ඇමතිවරයා කියා සිටියි.

සිය යෝජනාව දුම් කොළ සමාගම්වල බද්ද 90% ක් කොට පෞද්ගලික සෞඛ්‍යය අංශයට පනවා ඇති බදු ඉවත් කරන ලෙස බවත් ඇමතිවරයා පවසයි.

සිගරැට් පැකට්ටුවක 80% ක පරිමාණයෙන් අවවාද පල කිරීමේ නීතියට අමතරව එම සිගරැට් පැකට් වල දක්නට ලැබෙන ආකර්ශනීයභාවය අඩු කිරීම සඳහා 'හිස් ඇසුරුම්' නමැති නව සංකල්පයක් හඳුන්වා දීමට නියමිත බවයි සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ.

Image caption දුම් පානයේ හානි දැක්වෙන සිගරැට් පැකැට්ටු

'පැකැට්ටුවේ සිගරැට් වර්ගයේ නම විතරයි මුද්‍රණය කරන්න පුළුවන්. වර්ණ දාන්න ලස්සන කරන්න බැහැ. සිගරැට් සාමාන්‍ය පැකට් එකක අහුරලා දෙන්න ඕන. එවැනි ක්‍රමයකින් සිගරැට් වලට ඇති ආකර්ෂණය නැති වෙනවා' ඇමතිවරයා බලාපොරොත්තු පළ කරයි.

ඖෂධ පනත

තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ ඖෂධ පනත ගෙන ඒමට හැකි වීම යහපාලන රජයේ ජයග්‍රහණයක් බවයි.

එහෙත් මහ ජනතාව මෙන්ම තමාත් බලාපොරොත්තු වූ පරිදි ඖෂධ මිළ අඩු කිරීමට නොහැකි වී ඇති බව පිළිගත් ඇමති රාජිත සේනාරත්න ඊට විවිධ හේතු බලපා තිබෙන බවයි කියා සිටියේ.

'ඒ ගැන අපි ලොකු කලකිරීමකින් ඉන්නේ. දැන් නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මම කියල තියෙන්නේ මාස දෙකක් ඇතුළත ඖෂධ මිළ අඩු කරලා ගැසට් කරන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසයි' ඇමතිවරයා පවසයි.

ඖෂධ හිඟය ජය ගැනීම

2014 වසරේ දෙසැම්බර් මාසයේ පමණක් ඖෂධ සංස්ථාවට අයත් රුපියල් කෝටි තිහක පමණ වටින ඖෂධ කල් ඉකුත් වූ බව පවසන රාජිත සේනාරත්න ඇමතිවරයා එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට දැන් සියළු ඖෂධ වර්ග පරිගණක මෘදුකාංගයක් උපයෝගී කර ගනිමින් නියාමනය කෙරෙන බවයි සඳහන් කළේ.

Image caption ඖෂධ සහ ඇඳ පහසුකම් නොමැති ශ්‍රී ලංකාවේ රෝහලක්

රට පුරා රජයේ රෝහල් ඖෂධ හිඟයකින් තොරව පවත්වා ගෙන යාමට එම පරිගණක ජාලය උපකාරී වන බවත් සෞඛ්‍යය ඇමතිවරයා පවසයි.

පසුගිය දා කෝප් කමිටුව මගින් පරික්ෂා කලේ පසුගිය පාලන සමයේ කල් ඉකුත් වූ ඖෂධ බව ප්‍රකාශ කල ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් තමාට වගකීමක් භාර ගත නොහැකි බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර